Wednesday, December 22, 2010

උඳුවප් සුළඟ හෙවත් සල්ලාල පෙම් කව


මේ මගේ ප්‍රේමය
හෙවත්
අඬන්නට ඉන්න ඇස.

අඬන්නට ඉන්න ඇසකට
විසුළුවට වුව
ඇඟිල්ලෙන් ඇන්නොත් ඔබ
මුලින්ම ගලනු ඇත්තේ
කඳුළකි ලේ රතු පාට.

කඳුළු ලුණු රස
බව සැබැයි,
එසේ වුව
කුමට සොයනුද
වෙහෙස වී එහි යට'රුත
ලුණු බිඳක්වත් ශේෂ නොකරම
වියැළිලා යයි නම් එය.

මම
මකුළු දැල.

බිත්තියේ ඈත මුල්ලක
හෙමි හෙමින් ලඹ දෙන
ඉඳහිට කළුවරක
මැස්සෙකුත් පැටලෙන,
හෙට උදෑසන
ඔබ
දුර සිට
අතුගා දමන්නට
නියමිත.

උඳුවප්
සුළං කෝඩය

ඒ ඔබ.

අන්තිම
තෙල් බිඳිත්තෙන්
දැල්වෙන
පහන් සිලකින්
ජීවිතය
මොහොතකට උදුරන.



රසික ජයකොඩි
2010 දෙසැම්බර්

Saturday, December 18, 2010

ජෙරුසලම් නුවර රාත්‍රියක


වලාකුළු පිරි අහස
අරා ඉහළට නැගෙන
තුඟු මහල් ප්‍රාසාද අභිමුවෙහි
කුහුඹුවෙකු විලාසෙන් සිටගනිමි..
ප්‍රාකාර සඳලුතල
දිගු වීදි පීරමින්
දැක පුරුදු සිනහවක්
හුරුපුරුදු කතාවක්
මම සොයමි.

කටු අනින වියරු සීතල රැගෙන
අසිහියෙන් සිරුර මත දඟ කරන
සීත මෝසම් සුළඟ පිරිමදිමි.
රැය ගෙවී උදාවන තවත් එක් අලුයමක
රන් පැහැය නොතැවරෙන අළු පාට ගුවනතෙහි
සියතින්ම තනාගත් අලුත් මාවත් දිගේ
ඒ සුළඟ පියාඹන සැටි දකිමි..

වේගයෙන් ඇවිද යන මිනිසුන්ට
ජීවිතය මග හැරෙන බැව් සිහිව
මොහොතකට නතර වී,
සීතලෙන් හැකිළ ගිය තොල් වලින්
පෙණ පිපෙන මීවිතක් සිපගනිමි.
නන්නාඳුනන රටක
නාඳුනන සුසුම්, කඳුළැලි සමග
හුදෙකලාවේම සව්දිය පුරමි..

වලාකුළු මැද අහස
අරා ඉහළට නැගෙන
සඳ කොහිද මම තවම එය සොයමි.
කුළුණු ප්‍රාකාර මත අහසෙ ඉඩ ඇති තැනක
හිරිවැටුණු ඇඟිල්ලෙන්
හුරුපුරුදු
සඳෙහි හැඩතල අඳිමි..


රසික ජයකොඩි
දෙසැම්බර් 2010

Wednesday, October 20, 2010

හැඟුම් නැති කවියක්


අකුරකට පුළුවන්,

හැඟුම් නැති

දුරකථන මුහුණක

අඳුන් සිතුවම්

අඳින්නට


ඒ සිතුවමට පුළුවන්

ඇස් වලින් සිනාසෙන්නට

ගොළු බසින් කතා වෙන්නට

රතු ඇස් මත වුණත්

නුහුරු සීතල

තියා යන්නට..


පුළුවන් ඔබට

කවියක් ලියා දෙන්නට

තෙත සිඳුණු

අමාවක අහසට..

වැහි වලාකුළු

ඒ යට රොද බැඳෙන හැටි

ඈත සිට

බලා ඉන්නට..


පුළුවන් ඔබට

කවියක් ලියා යන්නට

පා තුඩින්

නන්නාඳුනන වෙරළක..

කුහුඹුවෙකු

ඒ මත නිදන හැටි

දුර සිට

බලා ඉන්නට..


පුළුවන් ඔබට

කවියකින් අමතන්නට

ඍතුවෙන් ඍතුවට

පියඹන

වලාකුළු මිනිසෙකුට..


කල්පයක් දුර සිටියද

ගල්ගැසී ඔහු

නතර වන සැටි

පුළුවන් එවිට

බලාගන්නට


දුටුවාද..?


ඔහුගෙ ළය මැද

කළු වලාකුළු

කැටිති අස්සෙන්

ඉඩ ඇති ඔබට

හමා යන්නට...


Monday, October 18, 2010

දුඹුරු ඇස් සිහිනයක්


හිමිදිරියක්
අවන්හලක්
මේසයක්..
දෙපස
ගැහැණියක්
සහ
මිනිසෙක්..
ඒ ගැහැණියට තිබුණේ
දුඹුරුම දුඹුරු දෑසක්..

වචනයක්
දෙකක්
ආයෙත් සිනහවක්..
මල් පියලි කොපුලත
පොපියන
අලුත් පිනි තිතක්
එය හදවතක්..
එක් කලෙක
කළු දුඹුල් බැඳි
පැරණි හදවතක්..

දුඹුරු ඇස් ළඟ
හෝරාවක්
දෙකක්..
ජීවිතය තරමට දිග
ඇසිල්ලක්
දිගම දිග
කෙටි කවියක්...
මීදුමක් සහ මතකයක්..

ඉනික්බිති අඳුරක්


කලකින් හමන
අකල් සුළඟට
බිම වැටුණ
තුත්තිරි මලක්..
නෑ
එය හදවතක්..?

එමල මත
කඳුළක්
කඳුළ මත
පා පතුලක්.
ඇය ගැහැණියක්!
දන්නවද
ඒ ගැහැණියට තිබුණේ
දුඹුරුම දුඹුරු දෑසක්..


රසික ජයකොඩි



Sunday, September 26, 2010

පොත් සල්පිලේ දී ය


ගැට පද පිරුණ
පිටු කළු ගැසුණ
පොත
මම,
රාක්කය මත
ඔබ
තව බොහෝ පොත් මැද
වෑයමින්
සිරගත කළ..


නොම රමණි
වන පැරණි
පොත
මම,
කියවනු අරුචි යැයි
කලකට ඉහත
ඔබ
නම් කළ..

බොඳ සිත්තමකි
මුල් පිට
මහ හිස්තැනකි
පසු පිට,
පෙරවදන්
පසුවැනුම්
අයිති
නැතියෙන..

දුම් රොටුවක් විලස
අතීතයටම
එක්වුණ
ඉතිහාස පොත
මම,
හැම රහසක්ම
අකුරු යට
වළ දමා
හිනැහුණ..

වැසි සුළං මැද වුව
තවමත්
අකම්පිත
පොත
මම,
අලුත් පොත් අතැතිව
සිටින
ඔබ කිසිවෙකුට
නොපෙනෙන..



රසික ජයකොඩි
26.09.2010

Tuesday, July 20, 2010

මුලකුරක මතකය හෙවත් මගේ ප්‍රථම ප්‍රේමය


අඳුරු සෙවණැලි පැමිණ අරුණු දොර වසන විට
අකුරු කඩදහි සමග ගිනි වැදුණු දිනෙක අග
අහඹු ලෙස දිග හැරුණු පොතක මුල්පිටුව මත
කුරුටු ගා තිබුණු නුඹෙ නමේ මුලකුරු පෙනිණ..

සිසිර සුළඟට සැලෙන ළපටි පෙති බිම වැටෙන
නොතිර මල් කැකුළෙකැයි කෙලෙස අමතමි නුඹට..?
කතර මග මෙ'දුර විත් ගිමන් හරිනා රැයක
අඳුර මෙන් නුඹ ද එබිකම් කරයි මගෙ සිතට..

කොහේ සිට කොතැනකට යන්නෙදැයි නොම දැනම
ඔහේ ආ සුළඟක්ව රැඳුණු හැටි නුඹ එදින
එසේ වුව ඒ සුළඟ පියාඹන බැව් හැඳින
මගේ අත් විහිදුවෙමි අහස අහුරනු පිණිස

සිනා සෝ සුසුම් මැද සිතුම් නැවතුම් සොයන
සදාදර ඇසිල්ලක සිහිනයකි.. ඒ නුඹය
මලානික නෙත්වලින් සිතිජයට පා තියන
සැඳෑවක් සදිසි බව දනිමි දැන් ජීවිතය..





රසික ජයකොඩි
19 .07. 2010

Wednesday, June 30, 2010

ඇසළ අහසට

මේ ඇසළ අහසයි..
මෝසම් සුළඟ
සසලයි..

රොහොඹු තුඩු අග
දැවටෙන
රෑ සීතලට දිය හැකි
වග වාසගම් එමටයි..
ඒත් ඒ කුමටද..?
යළිත් හෙට දින මෙය
මග හැරුණ
සිහිනයක්
පමණයි..

අන්ධකාරය ඇවිත්
සඳවතුර පිසලයි
හැමතැනම කාංසිය
තවරයි..
උණුසුම්ම සුසුම වුව
පපුතුරට සිසිලයි..

පා පතුල් යට රැඳෙන
වැලි කැටයකට පවා
නිහඬ බව
උරුමයි..
ප්‍රේමයද
අතීතෙට යන මගක
සුරුවමක් විතරයි.
ආයෙ ආයෙත්
සුළඟ සසලයි
ඒ වුණත්
ජීවිතය
නිසලයි..



රසික ජයකොඩි
2010 ජූලි 01 වැනිදා
රෑ 12.05ට

Sunday, June 13, 2010

අවසන් දවස...



වසන්තය ගෙවෙන දින පිපෙනා
මලකටත්... ඔව් නමක් තිබුණා
සුළං සැර දරාගනු නොහෙනා
එ'මල බිම වැටෙන තැන
පුංචි හිම කැට මිදී තිබුණා

නියං කල ආකහේ සරනා
වැහිලිහිණි පියාපත රිදුණා
තිත්ත ගනඳුරක ඇහැ අරිනා
දෙනෙත යට කොපුල මත
ප්‍රේමයක මං ලකුණු ඇඳුණා

සංසාර දොරකඩින් එබෙනා
මන්දාරමක් සිත'ග රැඳෙනා
සන්තාපයෙන්ම කවි ගොතනා
කන්දරාවක් සිහින
නින්ද යට කරවටක් ගිලුණා..

අවසාන සුසුම් පොද හෙලනා
හදවතක දිග පළල මනිනා
ඔබේ ඇස් යළි යළිත් පෙනුණා..
ගෙන්දගම් පොළොව පිට
හිස නගන සොහොන මත
විටින් විට ඒ එළිය දිළුණා
පුංචියට තරු ලකුණු පිපුණා..



රසික ජයකොඩි

Tuesday, May 25, 2010

අකල් කවියක්


අතීතය
පටු නිම්නයකි

සදාකාලික
ස්වප්නයකි..

සිල් බිඳුණු අලුයම
මල් පියලි කොපුලත
කල් යල් බලා
තියා ගිය පිනි තිත යට ද
ඉතිහාසයකි.


අකල් වැස්සට නොසේදෙන
බිම වැටුණ
මැයි මලක ලේ රත
කල්පයක් කල් වුව
මකාලන්නට
බැරි සත්‍යයකි..

අරගන්න...
එය ඔබට
තව එක
මතක වස්ත්‍රයකි..

ජීවිතය
ලිහාගන්නට බැරි
ගෙත්තමකි

ආදරය
වලාකුළු මත ඇඳි
සිත්තමකි..


රසික ජයකොඩි

Sunday, May 2, 2010

ගිලන් වූ සිහිනය



ගිලිහී වැටෙන මැයි මල්
මතක පටුමග මත
වැතිරෙයි

හාත්පස අඳුර පමණයි..

නෙත් කෙවෙණි පිරිමැද
නිදි බිඳුණු සිහිනයක්
නැගිටියි

"මීවිතක් තරමට
ජීවිතය තරුණයි"
නාඳුනන හඬකින් ගැයෙන
ගීයක එසේ කියැවෙයි.

දැන් එකී සිහිනය
නිදන මැයි මල් පාගමින්
බොහෝ දුර ඇවිදින්න
සැරසෙයි.

ජීවිතය
හිනැහෙයි..

රෑ පුරා නිදි වැරූ සඳ
හඬ හඬා බිම හළ
කඳුළු පින්නට
මැයි මල් කිණිති තෙත්වෙයි..
ඒ මත දෙපිය මැන
යනු නොහී
මගේ සිහිනය
පා පැකිල
බිම ඇද වැටෙයි..

අත් පා රිදුම් දෙයි
සඳමඬල වුව
රතුවෙයි..

ගිලන් යහනක
ජීවිතය
යළිත් වැතිරෙයි..

රසික ජයකොඩි
03.05.2010

Tuesday, April 13, 2010

මගේ අවුරුද්ද


ලියා නිම නැති ලිපියේ
අවසාන කොළය
සුළඟට මුසුව ඉගිලී
මේසය මුල පතිත වෙයි.

අවසාන මිනිස් පුළුටද
කන්තෝරුවෙන් නික්මෙයි..

" සුබ අලුත් අවුරුද්දක්.."

දොර ළඟට යන ඔහු
මොහොතකට යළි හැරී
එසේ පවසයි..


"එසේම වේවා"

අසුනින් නැගිට
දෙපිය මැන
කවුළුව අසළ
සිටගනිමි..

පරණ අවුරුදු දවසේ
කල් ඉකුත් වුණ
වියපත් තුරුපතක්
නටු අගින් ගිලිහී
බිම වැටෙනු පෙනෙයි.

ළඟපාත
පාළු වී ගිය නිවසක
කළු බැඳුණු
රට උළු මතින්
ලේනෙක් පැන දුවයි.
"ජීවිතය දිගයි"
ඌට නොහැඟෙන්නේත් එයයි..


ඇසට නොපෙනෙන අත්තක
වසං වී හිඳ
කොළඹ කපුටෙක්
අවුරුදු ගීතයක්
රැව් නංවන්න වෙහෙසෙයි..

ඒ ගසම පාමුල
වැලි බොරලු යහනක
ළදරු බලු පැටවෙක්
මව් ඇකය තුළ ගුලිවෙයි..
ඈනුම් අරින විට
උගේ කිරිදත් මතුවෙයි..

" සුබ අලුත් අවුරුද්දක්.."

මම උන්ට
හදවතින් සුබපතමි..



රසික ජයකොඩි
12. 04. 2010
"රිවිරේ" දී

Tuesday, April 6, 2010

මගේ අසම්මත පෙම්වතියට


නේරංජනා ගඟ
ඔබ
කාලයේ අසු පිට නැග
තරණය කළ නොහෙන


අයාලේ ඇවිදින
අසම්මත පෙමවතෙකි
බග සඳ..

ඉබි යතුරු
මුව දරා හිනැහෙයි
ජීවිතය නම්
දඬුකඳ..

එහෙත් සකිසඳ...
ඉබියතුරු අසබඩ
මල් පිපෙන්නට
නොහැකිද..?


එවන් මලකට
පිනි ඉසින්නට
සඳට
අවසර
අවැසිද..?


රසික ජයකොඩි

Sunday, March 28, 2010

වස්සාන ගීතය හෙවත් "ඔබ"


යළිත් වස්සානයයි

ජීවිතය කුසීතව
යහන මත
දිගෑදෙන
යාමයයි..

රෑ පුරා වෙහෙසවී
අකුරු කළ
මතක පොත
දැන් වසා
පැත්තකින් තබන්නට කාලයයි..

ඉර්තුවක් තිස්සේම
එකතු කළ දුක දරා
ගිම්හාන සුළං රොද
තටු සලා
දුරින් දුර පාව යයි..

තෙමි තෙමී ඇවිද'විත්
තෙතබරිව
කවුළු දොර අසළ අර හිඳින්නේ
මගහැරුණ
වස්සාන හීනයයි..

ඇබින්දක් කන්දෙන්න

යටගියාවට වැටෙන
වැහි කඳුළු
එ'බිම මත උපදවන
සුවඳ දහරක එතී
සිහිනයක් විලස ළඟ රැඳෙන්නේ
නිහඬතාවය
හඬන රාවයයි..

අදහන්න පුළුවන්ද,
එයින් පණ පෙවෙන්නේ
මිය ඇදුණ හදවතක
ගීතයයි..




රසික ජයකොඩි
27. 03. 2010

Tuesday, March 23, 2010

මිනිසෙක් සහ කුහුඹුවෙක්


ලියන මේසය මත
සුදෝ සුදු හිස් කඩදාසියක
නන්නාඳුනන කුහුඹුවෙක්
ඇවිදියි

කාගෙවත් ඇස නොගැටෙන
වලගොඩැලි කඩතොලු වල
පා පැකිල බිම වැටෙන

දහිරියෙන් හිස නගා
ආයෙමත් නැගිටියි


පෑන් තුඩ'ගින්
උණු උණුවේම ගිලිහුණ
අකුරක
ඉතිරි වුණ හිස් ඉඩක
කුහුඹුවා
මොහොතකට නවතියි

එය ඌට
නිවහනකි

එවන් අකුරුම
එක පෙළට ගළපා
එතැන වටකොට
කවක් ලියනෙමි.
"ඔහොම ඉන්නැයි"
ඌට අණ දෙමි

එය ඌට
සිරගෙයකි..

Wednesday, March 17, 2010

පිළිතුරක් නැති ප්‍රශ්නයක්


ඇඳිරි නීතිය පැන වූ රැයක
අන්ධකාරය කපාගෙන
අකීකරු සිහිනයක්
ඉබාගාතේ ඇවිදියි...

අවකාශයේ සැරිසරන
වැහි වලාකුළක සිරගත
කඳුළකට
ඒ සිහිනය මතට වැටෙන්නැයි
මම ඇරයුම් කරමි..

එවිට ඒ කඳුළ
රැලි නගා නළල
හකුළුවා දෙබැම
මගේ මුහුණට එබී
ඔරවයි!

"වේසියක් කියල හිතුවද...? "

සිනහවක් මිස
කෝපයක් නොනැගුණුයෙන් මම
සෙල් රුවක් මෙන්
නිරුත්තරව හිඳිමි..

වැලි බොරළු දෙපතුළ ඇනගෙන
රැය ගෙවෙන තුරු ඇවිදින
ඒ අකීකරු සිහිනය
එක්තරා නිශ්චිත මොහොතක
කොහේ හෝ බැරියරයක් ළඟ
ගල් ගැහී
නවතියි.

එ'මොහොතේ,
අභිරමණීය සිරගෙයක..
වලා කැටියෙන් සුසැදි
යකඩ පොලු අතර හිඳ
වැහි කඳුළ
හීනියට ඇස් නගා
හීනයට
හිනැහෙයි...

රසික ජයකොඩි

Saturday, March 13, 2010

"දික්කසාදය"



මකුළු දැලකි බිතු සිතුවම
මැරුණු සුසුමකින් ලඹ දෙන
වැසුණු ජනෙල් කවුළුව මත
ලකුණු ය ගොළුබෙලි ගමනක...


පෙරළුණු මල් බඳුනක් තුළ
කඩදහි මල පෙති හැකිළුණ
අඩක් දැවුණු දුම්වැටිය ද
නිදයි අවසඟව මිහිකුස...


රැලි නොමැකුණු සයනය මත
පැරණි පොතකි පිටු විසිරුණ
තීන්ත ඉතිරුණු පන්හිඳ
නිල් පාටැ'ති ලේ වගුරන...


කෙඳිරිලමින් රෑ තුන්යම
බමන අඳුරුබර සිහිනය
මදුරු මලකුණක් විලසින
අත්ල මැදින් සලකුණු විය


රසික ජයකොඩි

Wednesday, March 10, 2010

මන්දාකිණි


මන්දාරමේ දිලිසෙන
මන්දාකිණිය ඔබම ද
ගිම්හානයේ අහසට
හැන්දෑවක්ව පැමිණෙන..?


කාත් කවුරුවත් නැති මොහොතක
ආත්මය මිලානව සැඟවිණ..
ඈත් වෙන සුවඳකින් නෙතු හැර
දෑත් බැඳ මග බලමි තනිවම..

ප්‍රේමයක් කිසිදාක නොලැබම
හීතලෙන් මිය ඇදෙන මලකට
හීනයෙන් මෙන් දිනක හමුවන
දෑසකින් ලියැවේද සෙනෙහස...?

සකුණසර ගල් ගැහී ගොළුවන
විපිළිසර කෙටි නිහැඬියාවක
අනවසරයෙන්ම මට අමතන
සෙනෙහෙබර කටහඬකි මතකය..


සන්තානයම හඬවන
මන්දාකිණිය ඔබම ද
සංසාරයේ දුර සිට
මන්දාරමේ පැමිණෙන...?


රසික ජයකොඩි

Monday, March 8, 2010

තනි මල සහ තනි සිත


පිටෙන් පිට
මගහැරුණ
පොතකි.
ඉදින් එය
අතහැරුණ
සිතකි...


ඇසිපියෙන්
දිග හැරෙන
රැයකි.
ඇසිපියන්
යට උපන්
කවකි...



දුර ඇදෙන
සුසුමකින්
නොමැකී
සුළඟ වුව
හැඬුම්බර
හඬකි..



කඳුළින්ම
තෙතමනය
සුරැකී
රහසින්ම
පිනි ඉසුණ
බිමකි



එකසරව
ජනිත වුණ
මලකි.
එවිට එය
තනි සිතට
පෙමකි...


රසික ජයකොඩි
09.03.2010
අලුයම 12.45 ට

Wednesday, March 3, 2010

නයන සිත්තම


සිහිනයක් මත
තුහින ඇඳි සිතුවමකි
හිත.
පින්සලය තුළ
හුස්මක්ව රැඳෙන්නේ
ඔබ.


බිම් තලය මත
බිම්මලක් වී පිපෙමි
මම.
නිම් වළල්ලක
නිම් නොදැන
පියාඹයි
ඔබ.


ගිම්හානයට
වස්සාන කුසුමක්ය
ඔබ.
බොල් අහස යට
කල්පයකි ජීවිතය
මට.


නිල් නයන මත
මල් පිපෙන සුපැතුමකි
දුර....
කටු ඇනෙන මග
නටුව මත පා නගමි
මම.


ලිය මඬුලු යට
සීතලට නිදි බිඳෙන
විට
ගුලි ගැහෙන හිත
පිරිමදින උණුසුමකි
ඔබ.




රෑ 1. 20ට

Tuesday, March 2, 2010

පරමලක කවිය


"තවත් ආරංචියක් තියනවා. නොරිකො සං ට පෙම්වතෙක් ලැබුණා. එයා හොඳ කඩවසම් පුරුෂයෙක්. එයා නොරිකොට කැමතියි. නොරිකො ද එයාට කැමති හැඩයි.."

ලියුමේ අවසාන කොටස කියවූ මට දැණුනේ මා සිටගෙන සිටි තැන පොළොව හදිසියෙන් කිඳා බසින්නා සේය. නොරිකොට පෙම්වතෙක්! ඈ විවාහ වීම වෙනම කාරණාවකි. එහෙත් ඇයට පෙම්වතෙක් සිටීම! " නොරිකො ද එයාට කැමති හැඩයි"....ඈ කිසි කෙලෙක මට ආලය කළේ නැත. මට ඒ බව ඉවකින් මෙන් හැඟුණි. ඈ මට හුදෙක් කරුණාවෙන් සැලකුවා පමණි. මා සමග කතාබහ කිරීමට ඈ ප්රිය කළාය. එහෙත් මම පිට කෙනෙක් වෙමි.....
- දෙවෙන්දොරා සං ( මළගිය ඇත්තෝ - පිටුව 79 )


මුවින් හළ දුම් වළලු
අඳින විට දේදුන්න
සොහොන් කොත් පාමුලට
ඇද හැලෙයි රෑ පින්න

මැදින් සඳ මකන විට
රැයක ඇඳි සෙවණැල්ල
හමන්නට අමතකව
නතර වෙයි පවනැල්ල

බිඳෙන් බිඳ පරව යත
සිත'ග පිපි හසරැල්ල
කොපුල් මිටියාවතට
ගඟක් වෙයි කඳුළැල්ල

අඳුරුබර රැය දිගයි
යළි නො එයි සඳ එළිය
ගැඹුරු හදගැබ නිදයි
එළි නුදුටු පෙම් කවිය

ඇස් වලින් කතා වුණ
හුස්මකට ගිලිහෙන්න
හිස් වුණත් හදමඩල
ඇස් පියා ඉඩදෙන්න

දකින්නට අකැමැතිම
කළුවර තුළට ගෙවැද
දුකින් වුව කුරුල්ලෙකු
පියෑඹිය යුතු නොවෙද...?

නෙතින් අවසර කුමට
කඳුළකට වෑහෙන්න
ඉතින් පරමලකි සිත
ඇවිත් එය පාගන්න


රසික ජයකොඩි
2010 මාර්තු 03
පාන්දර 12.55ට

Monday, March 1, 2010

නිලාවේලියේ රැයක්


දිගාරින්නට අවසර...
මලානික සඳවත
නිලාවේලියෙ වැලි මත

යන එන වැලි කෙළින
සිනා ඉරි ඇඳ තුටුවන
ආගන්තුක මුහුණු මිස
නිනව් නැති හිත පිරිමැද
රිදුම් දෙන තැන් සනහන
කෙනෙක් මෙහි ඉතිරිව නැත..

දළ රළ පෙළ සමග
හැපී හිනැහෙන අය මිස
රැළි නැගෙන වෙරළ'ත
ඉකි බිඳින සරතැස
විමසන කෙනෙක් මෙහි නැත..

අරුණු දොරකඩ රන'ඹර..
මළහිරු අඳින ලා රත..
බලා සැනහෙන අය මිස
වැන්දඹු කළුවරට
පෙම් කළ කෙනෙක් මෙහි නැත..

කියාගන්නට බැරි දුක
තියාවිත් මේ කුළු යට
දිගාරිනු මැන සඳවත
මලානික හදවත
නිලාවේලියෙ වැලි මත..


නිලාවේලියේදීය
14.01.2010

Saturday, February 27, 2010

කලපුවක කතාව හෙවත් මගේ පෙම් කවිය


කලපු දියවර
නිසලව තිබිණි...


දිය සරැළි
නිදි බැවින්
මම
ඇඟිල්ලෙන්
කලපු ළය මත
ඉරි අඳිමි...


පහතට නැඹුරු
දෙ ඇසේ
රඳනු නොරිසිව
කඳුළක්
සිහින් හඬකින්
දිය මත
පතිත වෙයි...


සිහිනයෙන් තිගැස්සී
හැරුණු
රිදී පැහැ මසෙක්
ඇස් නගා විමසා
වරල් සේලය පොරවා
යළිත්
නින්දට යයි...


නිහැඬියාව
කි..........


වලාකුළු බර
දරනු බැරි සඳ
වේදනාබර
මොහොතක
රැයට
සමුදෙයි..
ඇසට
නිදිමත එයි..
අන්ධකාරය
රජවෙයි

..............


ඉදින්..
පසුදිනෙක
අලුයම..
හිරු නැගෙනු
පෙරතුව..
කළපු දිය මතුපිට
කඳුළ සිපගත් තැන
අලුත් නෙළුමක්
සුපිපෙයි…..


පිණි තිතක් වුව
නොරැඳෙන
එ'නෙළුමේ කොපුලත
ලුණුම ලුණු රස
පැරණි කඳුලක්
දිලිසෙයි...

* * *

රසික ජයකොඩි
2010 පෙබරවාරි 28 වැනිදා
පාන්දර 2.10 ට



Friday, February 26, 2010

සරත් සඳ යට...


"ගොදුරු නොවී පෙර සේ පස් ඉඳුරන්ට
රූ සඳ ගඳ ඈ අරමුණු ඇති අවට
මගෙන් මෙමුළු ලොව ඈතට යන කලට
නුඹ ළං වෙයි දින දින මා හදවතට

ඈත් වෙතොත් මාගෙන් සැම දේ එවිට
දුකක් නැතිව යා හැකි නොවැ පරලොවට
නුඹත් දුරුව ගිය කල නියමය ලෙසට
දමා යන්ට බැරි කිසිවක් නැත මෙමට"


- සරච්චන්ද්‍ර


අඳුරු දනව්වක සෙවණැලි විලාසෙට
සොඳුරු සිතුම් දිව යයි මංමුලාවට
රුදුරු රිදුම් හිත ගිනි ලෑ වෙලාවට
ඇදුරු මෙ'කව් දහමක් සේ දැනේ මට

ඈත්ව යන සඳ බොඳ වෙයි වළාපෙත
රෑත් කඳුලු මිස බොල් පිණි සලා නැත
කාත් කවුරුවත් නැති බිම් තලා මත
මාත් මට හිමිද විමසයි මගේ හිත

දුමාරයකි කාලය දුර හමා යන
නිමා නොවෙන නිම්තෙරකට පියාඹන
දමා යන්න බැරි මතකය තියාගෙන
පමා කළ හැකිද පියවර තබා යන...?

සඳත් කළුවරයි කළුවර රැය ගාව
රැයත් තනිකඩයි තනිකම හිත ගාව
සඳත් රැයත් අතරින් මට මග කීව
නුඹත් දුරයි සිහිනයකින් අත ගෑව


රසික ජයකොඩි

Thursday, February 25, 2010

නමක් නැති කවක්....


මුකුටයෙන් ගිලිහුණු
මලකට
පිපෙන්නට බැරිද
මතක පටුමග මත
දවසක....?

සරැලි කෙහෙරැලි
සසැලෙන
අනවසර සුළඟට
විසුරුවන්නට බැරිද
පත් ඉරු කොට
පැරණි කවියක
සුපැතුම...?

දෙබැම දේදුනු යට
ඇසිපිය සලන විට
ඇස
ඇහුණාද හෙමිහිට
ඉකිබිඳුම
සිපිරිගත
කඳුළක...?

මැදියමක
ඉඳහිට
ඔබ එවන
කෙටිම කෙටි වදනට
පණ පුදන්නට
හැකිද
කල්පයක්
තරම් දිග
සුසුමට....?

* * *

නමක් නැති
පෙම
නිමක් නැති
පැන
ඉතිරි කොට යයි
ළැම....

ඉතින්
මම
තවරමි
ඔබේ නම
අවකාශයේ
අවසන්ම
ඉම...

තරු එළියටත්
බය
සදාකාලික රැය
මෙය
කඳුළක හැඩය
පිණි මත
තබා ගිය....




රසික ජයකොඩි
25.02.2010

Wednesday, February 24, 2010

"බතී"ට


බොහෝ දුර සිට පැමිණෙන
විරාගික මඳ සුළඟට
මලානික තුරුපත් වුව
සලා ඇස් හිනැහෙන්නැ'ති
බතී නුඹ
මේ ලෙස බලා ඉන්නැ'ති..


සිතුවිලි නිබඳ ලඹදෙන
කුටියක නිනද තනිකම
කොපුල'ත ගලන කඳුළක
හැඩපලු ගොතන්නැ'ති
බතී නුඹ
ඒ කඳුළ නොදකින්නැ'ති


හීතලෙන් ගුලි වෙන රැය
මායමෙන් හිනැහෙන විට
වාසගම් නැති කවියට
පේළියක් මුසුවෙන්නැති
බතී එය
නුඹට නම් නොහැඟෙන්නැති..


සරැලි කෙහෙරැළි පිරිමැද
නල මුදුව එන සිහිනය
කල්පනා දිය රළ යට
සදාකල් සැඟවෙන්නැ'ති
බතී නුඹ
ඒ සිහින නොදකින්නැ'ති


අතීතය
වී මම නතර වෙන්නැ'ති
බතී නුඹ
අනාගතයට යන්නැති..






රසික ජයකොඩි
20/ 01/ 2010

Tuesday, February 23, 2010

සන්තානගත කව


නවම් සඳ යට නතරව
උවම් නොමැතිව ලියැවුණ
තවත් කවියක් මෙය......

නෙතින් නෙත නොරැඳෙන
සිතින් සිත ගොස් නවතින
අතින් නවතනු බැරිවුණ
සුසුම් අහුරක් මෙය
ලැගුම්හල් සොය සොයා පියඹන......

සන්තාප ගිනි දළු ලන
සන්තානයේ උපදින
මන්දාරමේ පැහැයෙන
පින්තාරු වෙයි කඳුළක
සංසාරගත සෙනෙහස.......

බිඳ රැයක තනිකම
අඳ අහස මත වැතිරුණ
අඳුරුතම තිත මත
සඳු ඇඳෙනු සිහිනෙන් දැක
සොඳුරු හැඟුමෙන් ලියැවෙන
රුදුරු කවියයි මෙය.....

හදමඬල පතුළත
රිදවගෙන කැටයම් කළ.....

Sunday, February 21, 2010

නික්ම යාම



ගිරිසිරස
මත හිඳිමි


මරණයට
මොහොතකට
නතර වෙන්නැයි
කියමි


සිපිරිගත
හුස්මකට
පණ පොවමි


අත්ල මැද
ඉතිරි වුණු
වරා මලකට
පිඹිමි


විසිර යන හැටි
දකිමි


ධ්‍යානගත
වී නිදමි


* * *

Wednesday, February 17, 2010

කළු අළු සහ තරු


සිතක
චිතකය මත
මතක අළු
විසිරෙයි

සඳක
මළකඳ
අවකාශයේ
වැතිරෙයි

ළඟ ළඟම එන
සුළඟට
තුරුපතක්
බියවෙයි
බිම හොවා
හිස
සැඟවෙයි

උල්කාවක්
වෙසින්
වල්ග තරුවක්
ගිලිහෙයි
එයින් තරු
ඇහැරෙයි


ඉතින් හිත
හිතින් පමණක්
වැළපෙයි

Saturday, February 13, 2010

රැයේ ගීතය


කළුවරම අහස
ගිරිසිරස තරමටම නිසලයි
අවසාන තරුව
සෙවණැලිත් නොතියාම සැඟවෙයි
පිළිසිඳුණ සිහින
සයනයෙන් හිස නගා නැගිටියි
දැන් මගේ කවිය
ආකහේ කොතැන හෝ ලියවෙයි



ළය තුළින් මිදුණ
සුසුමකින් වලාකුළු උපදියි
ඉකිනගනු කුමට
එළි නොවෙයි රැය තාම තරුණයි
මා දකින සිහින
කළුවරේ තටු සලා ඉගිලෙයි
මේ ලියන කවිය
අයිති මට නොවෙයි මේ රැයටයි.

Wednesday, February 10, 2010

ඔබ සිතක් - මම තිතක්


දිගු කවිය
අග තිතක්.


තිත හිතක්
හිත ගඟක්
රැළි නැතත්
ගඟ ගඟක්


ගඟ මතින්
සඳ ඇතත්
මෙය රැයක්..
සුසුමෙනුත්
රිදුම් කයි
හදවතක්..


ඒ රිදුම
තිතක්
නොවැටෙන දුකක්


දුක ළඟින්
ඔබ තියයි
කටහඬක්
එතැන දැන්
යළි උපන්
කවි සිතක්


ලියමි තව
කවි පෙළක්..
එය අගින්
යළි තිතක්.


ඔබ "සිතක්"
මම "තිතක්"

Monday, February 8, 2010

සිංහයා නොකී කතාව



මමයි ඒ සිංහයා

අනෝරා වැසි මැදින් හිස නගා
සැඩ සුළං අකුණු සැර පරදලා
වලාකුළකට කරමි ගර්ජනා


අබිමනින් පා ලකුණු තිය තියා
තැනිතලා බිම මැදින් ඇවිදිනා
කෙසර හිස අහංකාරෙන් සලා
ගිරිහිසට හිනැහෙනා
මමයි ඒ සිංහයා


මලානික තරුවලින් මග අසා
රැයේ මැද ගල්ලෙනට පිවිසෙනා
දෙපා යුග කකියනා
සුසුමෙනුත් හතිලනා
මුවා වී කළුවරේ සැඟවෙනා
විඩාපත් සිංහයා වැතිරෙනා


ඇස් අතර කාටවත් නොපෙනෙනා
දුකඳුළකි සිරගතව වැළපෙනා
සිහිනයෙන් ඒ කඳුළ සසැලෙනා
නොදැනීම කොපුලත'ට පිවිසෙනා
උදෑසන අවදිවන සිංහයා
රහසින්ම සිය කොපුල පිසලනා


පිණි කඳුළු වියලවා
හිරු එළිය වන අරණ සිඹිනවා
ගල් ලෙනෙහි දොර වසා
යළිත් ඒ සිංහයා
අභිමනින් හිස නගා බලනවා



රසික ජයකොඩි
08.02.2010

Sunday, February 7, 2010

සිහිනයක කවියක්


දෙපා නැති සිහිනයට ඉගිලෙන්න
මුදාළමි රෑ අඳුර අතරින්ම
එපා ඔබ ඇසින් තරු දල්වන්න
තියා හිස කවියකට නිදියන්න



සඳ ළඟින් ඇඟිලි බැඳ නවතින්න
පමා වී එන සුළඟ පිළිගන්න
සිසිරයේ අලුත් මල් සිපගන්න
පියඹනා සිහිනයට ඉඩදෙන්න



පින්සලත් කඳුළින්ම පොඟවන්න
සිහිනෙටත් ඒ පාට තවරන්න
ඉර්තුවෙන් ඉර්තුවට පියමැන්න
මගෙ හිතත් රැය තරම් කළුවන්ය



සෙවණැලිත් යන විටෙක නිදියන්න
මට හොරෙන් ඉටි පහන් දල්වන්න
අලුයමෙත් දොර කවුළු හැරලන්න
අතැ'ඟිලිත් සීතලයි හිම මෙන්ම



රහසින්ම වැහි කුළට අමතන්න
වැහි එන්න පෙර හිතට ගුලි වෙන්න
මගෙ නින්ද ඔබ බින්ද පමණින්ම
පුළුවන්ද සිහිනෙකට නවතින්න..?

Sunday, January 31, 2010

ප්‍රේමයේ කළාලය


ප්‍රේමයේ කළාලය එලන්න
ජීවිතේ වළාකුල වැහෙන්න



තරු ඇසක් අතින් පොඩි කරන්න
රතු වෙයිද ළං වෙලා බලන්න



තනි සඳට ගුලි වෙලා නිදන්න
ගිනි සිසිල යටින් පිණි ඉහින්න



නිම් වළල්ලටම ඔබ ඇදෙන්න
දුම් වළල්ලක් විලස රැඳෙන්න



ප්‍රේමයේ කළාලය එලන්න
මේ රැයේ මගේ ළය සිඹින්න





රසික ජයකොඩි
එක්තරා රැයක

Saturday, January 30, 2010

පෙබරවාරිය?


( ලංකා පත්තරේ කර්තෘ චන්දන සිරිමල්වත්ත පොලිස් කූඩුවේය. ප්‍රගීත් එක්නැලිගොඩ තාමත් අතුරුදහන් ය. ඒ අතරේ ලංකා පුවත්පතට අද දහවල් සීල් තබන ලදී)

මිතුර අද සිට පෙබරවාරිය
සයුර ගිනිබත් කරයි සූරිය
මියෙන මලකට කොහෙද වීරිය
සිහින වලටත් ඇඳිරි නීතිය


රජ අණින් පළඳවා ප්‍රීතිය
සිනා මුහුණෙන් පිරෙයි වීදිය
නිශාචරයන් හොරෙන් ආගිය
බූට් සළකුණු පසට හා විය


මල් වෙඩිල්ලෙන් ළය දෙබෑ විය
අකීකරු කවියද නිමා විය
පන්හිඳක් මා අතට දී ගිය
මිතුර නුඹ දැන් හරිම ඈතය


සිංහාසනය යට ගලාගිය
මුත්‍රාවලින් තෙතය රාත්‍රිය
උට්ඨාන වෙයි මරණ භීතිය
මුද්‍රා තබමි මගේ ගීතය

Wednesday, January 27, 2010

දිනපොත සහ හදවත


පැරණි දිනපොත ගෙන'තට
ඉරුණු පිටුවක් පෙරළමි
මැකුණු අකුරක් ගළපමි


නිදන නදියක රැළි මත
සිහිනයෙන්
පය තබනෙමි
දිය පිට මෙතෙක් සපැමිණි
පියවර ලකුණු සොයනෙමි


ගෙවෙන්නට පෙර කළුවර
තණ පලස මත ඇවිදිමි
සී සී කඩව යන පිණි
රැස් කරන්නට නොසිතමි


කාලය රකින මුනිවත
හෙළන සුසුමෙන් නොබිඳිණි
නොනිදන කුහුඹු සෙවණැලි
බිතු මතින් සිතුවම් වුණි


දිගු බැව් දනිමි මේ රැය
සඳට කෙටි මං නැතියෙනි..
මදනලට පිටු පෙරළිණි
මතකය පවා සසැළිණි





රසික ජයකොඩි
ජනවාරි 27 පාන්දර

Thursday, January 21, 2010

සඳ ළඟ ඇය


ඇය
තමයි
රැය


නිසල
ඇස
සසැලෙන


වහින
සිහින
තුහින
යට
ඉහින

ඇඳෙන
විට
වද
විඳ
සඳ
මිලින
මල
වෙයි
මල්වර

සුළඟ
ඇයි
දඟ
මගෙ ලඟ...?

නිහඬ
නැත
නිහඬතාවය
හඬන
හඬ..



රසික ජයකොඩි

Saturday, January 16, 2010

මතක මළගම


මලක මළගම නිමව
මතක බණ රැව් නගන
නෙතක කඳුළක් වුවද
ගඟක හැඩතල මවන


හිතට නොපෙනෙන තැනක
නතර කර ගමි කඳුළ
චිතකයට ගිනි තබන
අත ඇඟිලි උණුසුම්ය


නින්ද නැති සඳවතට
අන්දවන්නට සළුව
අන්දකාරය තනිව
වින්ද දුක් අපමණය


සොහොන් බිම මුල් අදින
පැළෙන් දළු නැගෙන විට
ඉතින් මියැදුණු සිහින
දකින්නේ කවුරුන්ද..?


පියෙන විට ඇස් රැයක
එසැණ තරු එළි නිවෙන
නිදන ජනවාරියක
හැළෙන මල් නිම් නොමැත


හිස් වුණත් සඳ එළිය
දොස් නගනු අනැවැසිය
වස්සානයේ කවිය
ඇස් පියා නැවතුණිය

Saturday, January 9, 2010

රතු

ඇය රතුයි..

මළ ඉරක්
යට උපන්
සිහිනයක්
තරමටම
ඇය රතුයි

නිදි කිරන
ඔරුකඳක
හරි මැදින්
පින්තාරු
කළ ඉරක්
වාගෙමයි
ඇය රතුයි..

සුධාවල
පිරුවටය
මත ඉහුණු
ලේ බිඳිත්තක් වගෙයි
ඇය රතුයි


ලේ ගලන
පිහිතුඩක
සිනාසෙන
ඇපල් රත
ඇය වගෙයි
ඇය රතුයි


බොරදියක
නෙළුම් මල්
පිපෙන විට
දිය රතුයි
ඇය රතුයි

දරණ ලූ
හදවතක්
යට නිදන
ඇය රතු
යි
හරි රතුයි



Saturday, January 2, 2010

දුරුතු සිතුවම


සඳකඩපහණ
පාමුල
සිගරට් දුමත්
කවියක්..

උඳුවප් සිසිල
අවසන
ඉකිලයි
හංස ගීයක්..

අඩතැනි ගසක
සෙවණ'ත
මල් පියල්ලක
කඳුලක්..

වෙව්ලන හදැ'ති
මිනිසෙක්
අහසෙම වියයි
සළුවක්..







නිදියන
තණපතක් යට
පළිඟු ඇස්
පිණි බිඳුවක්..

ගොලුබෙලි ගමන
කෙළවර
ඇඳෙයි පියවර
අහුරක්..

වැලි කතරටත්
ඉතිරියි
දියවැලක් ගිය
ලකුණක්..

නම් නැති
සොහොන් කොතකත්
කොතැන හෝ ඇත
අකුරක්..