Wednesday, April 13, 2011

මම සහ නුවර


කොළඹ විශාඛා විදුහලේ ටයි පටියක් පැලඳි යුවතියක් දුටු පමණින් තවමත් තමන්ගේ හිතේ විදුලියක් කෙටෙනු වැනි හැඟීමක් දැනෙන බව උපුල් ශාන්ත සන්නස්ගල කොහේ හෝ තැනක කියා තිබුණා මට හොඳට මතකය. එය දුටු මොහොතේ වචනයට නගන්නට අපහසු තරමේ සීතල හැඟීමකින් මගේ සිත හිරි වැටී ගියේය.



එවැනි මතකයන් ඕනෑම මිනිසෙකුගේ ජීවිතයේ තිබෙන බව මම දනිමි. ඒවා හදවතේ ගැඹුරම පතුළේ නිදන් වී විටින් විට සිත කොනිති ගසන මතකයන් ය. ඇතැම් විට මරණ මංචකය දක්වාම එම සොඳුරු රිදවිල්ල සිතට දැනේ. එය වේදනාත්මක ආශ්වාදයකි.



මගේ ජීවිතයේත් එවැනි මතකයන් කිහිපයක් තිබේ. ඒ අතුරිනුත් වැඩිපුරම මට ළං වූ මතකය වන්නේ " නුවර" යි.. නුවර වැව රවුමේ සේයාරුවක් කොහේ හෝ තැනක දකින විට, ඇතැම් විට රූපවාහිනියේ නුවර කොතැනක හෝ දසුනක් පෙන්වන විට, අවට සිටින යම් කිසිවෙකු නුවර කිසියම් තැනක් ගැන කතා කරන විට, නුවර හා බැඳුණු ගීතයක් ඇසෙන විට උපුල් කියන අන්දමේ විදුලි ඉරක් මගේ මනසේත් ඇඳෙයි. ඒ සමගම සොඳුරු රිදවීමකුත් සිතට දැනෙයි. එයට හේතුව මම බොහෝ විට කල්පනා කරමි.



නුවර හා සබැඳි පුංචි ප්‍රේමණීය කතාවක් මට තිබේ. එය එක්තරා විදියක රහස් ප්‍රේමයකි. එහෙත් දැන් එය වසර ගණනක් පැරණි ය. අද එය මගේ මනසේ තැන්පත්ව ඇත්තේ බොඳ වී ගිය ලස්සන සිතුවමක් පරිද්දෙනි. බොහෝ විට ජීවිතයේ නව යොවුන් අවදියේ සිතට දැනෙන එබඳු හැඟීම්, සිතුවම් වලට සමානය. සිතුවම කොතරම් ලස්සන වුවත්, කාලයත් සමග වර්ණ මැකී, අව පැහැ ගැන්වී, ටිකෙන් ටික බොඳ වී යයි. එහෙත් අතීතයේ පැවති අර වර්ණවත්, ලස්සන සිතුවමේ චමත්කාරය කවදාවත් මැකී යන්නේ නැත.



නුවර මට සබැඳෙන්නේ මගේ සිතේ ලියලා වැඩුණු ඒ රහසිගත ප්‍රේමයත් සමග බව ඇත්තකි. ඇගේ සෙවණැල්ල වැටුණු නුවර සෑම තැනක්ම එදවස මට සීතලක් ගෙන ආවේය. එය සුන්දර, ළපටි, බොළඳ සිතිවිල්ලකි. කාලයත් සමග නුවරට බැඳුණු විවිධ සිදුවීම් ඔස්සේ තව තවත් මතකයන් ඒ මතින් ගොඩ නැගුණේය. ඒවා එකකට එකක් සම්බන්ධ නැති, තැනින් තැනින් ඇමිණුනු මතකයන්ය. ඒ අසම්බන්ධ බවම, අපිළිවෙලම මට ගෙනෙන්නේ සුන්දරත්වයකි.



මා ආනන්දයේ උසස් පෙළ පංතියක ඉගෙනුම ලබන කාලයේ, අපට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ "විද්‍යා දිනයකට" සහභාගි වන්නට ආරාධනා ලැබුණි. එය බාලිකා පාසල් වලින් එවැනි ඇරයුම් ලැබෙන තෙක් මග බලමින් සිටි කාලයයි. මා සමග තවත් මිතුරන් හතර පස් දෙනෙක් ඒ ගමනට එක් වූහ. අපි පිටකොටුවට පැමිණ නුවර බලා යන ඉන්ටසිටි බසයක නැගුණෙමු. අපට ලැබුණේ අවසන් පේළියයි. නොයෙක් කතා කවට බස් මැද්දෙන් ගිය ඒ ගමන ඉතා විනෝදජනක එකකි. අද මෙන් හිස බර කරන සංකීර්ණත්වයන්ගෙන්, ව්‍යාකූලත්වයන්ගෙන් පිරුණු ජීවිතයක් නෙවෙයි අප එදා ගත කළේ. එදවස අප අලුතින් පියාපත් ලැබුණු කුරුල්ලන් බඳු ය.



ඒ දවස ටිකක් වැහිබර අඳුරු දවසකි. බසයේ රේඩියෝව ක්‍රියාත්මක කරවා තිබුණේය. කොළඹ සිට කෙළි කවට කතා කියමින් පැමිණි මගේ පාසල් මිතුරන්ගෙන් ඇතැමෙකු, කඩුගන්නාවට ළං වෙන විට සිටියේ අඩ නින්දේය. තරමක නිහඬතාවක් රජයමින් තිබුණි. බස් රථය කඩුගන්නාව කන්ද නගින්නට පටන් ගත්තේය. පොද වැස්ස.. මීදුම..අඩ අඳුර.. කවුළුවෙන් පිටත දැවටෙමින් තිබුණි.



බසයේ රේඩියෝවෙන් වාදනය වෙන්නට පටන් ගත්තේ නන්දා මාලිනිගේ "කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන" ගීතයයි. ඒ මොහොතේ ඒ ගීතය මගෙ සිතේ කිඳා බසින්නට පුළුවන් ගැඹුරුම තැන දක්වා කිඳා බැස්සේය. ගීතයේ සෑම වචනයක්ම මගේ සිත කොනිත්තා රිද්දුවේය. නන්දා මාලිනියගේ හඬ, ගීතයේ රිද්මය මගේ මනස වෙළා ගත්තේය. එය සිහි කරන විට, මේ දැනුදු එම කම්පනය මට දැනෙයි. එතැන් සිට " කප් සුවහස් කල්" ගීතය ඇසෙන සෑම මොහොතකම මට 'කඩුගන්නාව ' සිහියට නැගෙයි. වසර ගණනක් පැරණි අතීතයට ඇසිල්ලකින් සිත දිව යයි.



නුවරට ගිය තවත් සුන්දර ගමන් රාශියක් මතකයේ ඇත. මා ඒවා ' සුන්දර ගමන්' යැයි කියන්නේ බොහොම පුංචි හේතු නිසාය. තවත් කෙනෙකුට ඒවායේ අබමල් රේණුවක තරම්වත් වටිනාකමක් නැති වන්නට පුළුවන. එහෙත් ඒ පුංචි සුන්දරත්වය මට හුඟක් වටින එකකි.



රාජකාරි ජීවිතයේත් එවැනි 'සුන්දර' අවස්ථාවන් බොහොමයක් මට ලැබිණි. එහෙත් ඒ හැම එකක්ම ලියන්නට ගියහොත් මේ වියමන තව හුඟක් දික් ගැස්සෙයි. එහෙත් ඒ අතුරින් ඉතාම ලස්සන මතකයක් වන්නේ මිතුරන් කිහිප දෙනෙකු දවස් කිහිපයක් නුවර ගත කළ මතකයයි.



ඒ මෙයට වසර හතර පහකට පෙරය. ඉන්දික සකලසූරිය, රතින්ද්‍ර කුරුවිට මෙන්ම සංඛ ගාල්ලගේද ඒ ගමනේ කොටස්කරුවෝ වූහ. එය රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් ගිය ගමනකි. නුවර නොහෝ තැන්වල අපි ඒ දින කිහිපයේ ඇවිද ගියෙමු. ඇත්තෙන්ම නුවර නොගිය තැනක් නැති තරම් ය. අප දින දෙකක් නවාතැන් ගත්තේ මහනුවර තිලංකා හෝටලයේය. තවත් දිනයක් හෝ දෙකක් හන්තානට නුදුරුව පිහිටි ලස්සන හෝටලයක ලැගුම් ගත්තෙමු.එම සෑම සීතල රාත්‍රියක්ම පුංචි මීවිතකින් උණුසුම් වූයේය.



තිලංකා හෝටලයේ ගත කළ එක රැයක මීවිතත් සමග ඇදී ගිය කතා බහ මැදියම් රැය තෙක් දිග් ගැස්සුණි. මගේ මිතුරන් තිදෙනා නිදන්නට ගියද, මට මොහොතක් තනි වෙන්නට අවැසි විය. මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. කාමරයෙන් පිටතට පැමිණි පසුව ඈත පිහිටි කඳු ගැට අඳුරු රේඛා මෙන් ඇසට පෙනේ. එම කඳු පසුතලයේ තිබියදී , නගරයේ විදුලි එළි ඈතින් ලෙලෙන දිලෙන තරු ඇස් මෙන් දිලිසෙයි. මම බොහෝ වේලාවක් එදෙස බලා සිටියෙමි. කලින් කී පැරණි ප්‍රේමයේ මතකය ඒ මොහොතේ මගේ මනසේ හොල්මන් නොකළා යැයි කිව්වොත් බොරුවකි. මට ඇය සිහිපත් විය. ඇය සිටින ඉසව්ව කුමක්දැයි මම අන්ධකාරය පුරා නෙත් යවමින් සෙව්වෙමි. නමුත් අන්ධකාරය තුළ මං ලකුණු සෙවිය හැක්කේ කාට ද..? එම නිසා මට ඒ ඉසව්ව සොයාගන්නට නුපුළුවන් විය. අද එම රාත්‍රිය මගේ මනසේ රැඳෙන්නේ ලස්සන එහෙත් අඳුරු සිහිනයක් විලසටය.



මා අවසන් වරට නුවර ගියේ මෙයට මාස පහකට පමණ පෙරාතුවය. ඒ ගමනටත් ඉන්දික සහ රුක්ෂාන් අබේවංශ එක්වූහ. එය හුදෙක් විනෝදය සඳහා අප ගිය ගමනකි. වාහනය පැදවූයේ ඉන්දිකය. ඉදිරි පස අසුනේ මාත් පසු පස අසුනේ රුක්ෂානුත් ගමන් කළහ. අප කොලඹින් පිටත් වූයේ හවස් වරුවේ වූ නිසා නුවරට ළං වන විට අඳුර වැටී තිබිණි. නුවරට ඔන්න මෙන්න කියා තිබියදී ඉන්දිකත් නුවරට සම්බන්ධ ඔහුගේ පැරණි ප්‍රේමයක් ගැන කතාවක් මට පැවසුවේය. මමත් මගේ පැරණි කතාව ඔහුට කීවෙමි. ඒ කතා දෙකම අඩු වැඩි වශයෙන් සමාන විය. අප දෙදෙනාම ඒ කතා යළි සිහිපත් කළේ සිනාසෙමිනි. ඒ සිනාව අස්සෙන් මගේ හදවතේ සියුම් ඉකිබිඳුම් රාවයක් මට ඇසුණේය. ඇතැම් විට මගේ මිතුරාටත් එවැනිම හැඟීමක් දැනෙන්නට ඇත. ඒ වන විටත් ඔහු විවාපත් වූ අලුත ය.



අප එදින ලැගුම් ගත් හෝටලය ඉතාම රමණීය කඳු දසුන් සහිත එකකි. එය පිහිටා ඇත්තේ නුවර ධර්මරාජය පිහිටා ඇති කන්ද මුදුනට වන්නටය, මහවැලි ගඟ පොල්ගොල්ල වේල්ලේ සිට කිලෝමීටර් 25ක් 30ක් ඈතට ගලන අයුරු එම හෝටලයට පෙනේ. කඳු පන්ති පසුබිමෙහි මහවැලි ගඟ ගලන්නේ මනරම් චිත්‍රයක අසිරිය මවමිනි.



එදා රාත්‍රියේ මට හෝරා දෙක තුනකට වඩා නිදාගත හැකි වූයේ නැත. පාන්දර දෙකයි තිහට පමණ අවදි වුණු මම අප සිටි කාමරයට අයත් සැඳැල්ලට පැමිණියෙමි. සීතල සියුම් හී තුඩු මෙන් සිරුරෙහි ඇනේ. අවදි වන සිතුවිලි එයටත් වඩා සියුම්ව හදවතට කටු අනියි. එය ඉවසා ඉන්නට අපහසු හැඟීමකි. විදුලි එළි දල්වන්නට ගියොත් මගේ මිතුරන් අවදි වන බැවින් මම මගේ ජංගම දුරකථනය අතට ගෙන එහි කවි සිතුවිල්ලක් ලියා තබන්නට තැත් කළෙමි. එහෙත් මට එය ලියාගත නොහැකි විය. තවමත් එය නොලියූ කවියක් ලෙසින් මගේ මනසේ නින්නාද වෙයි. එදා රාත්‍රියේ මට නිදගන්නට මගේ සිත ඉඩ නොදුන්නේ ඇයිදැයි අදටත් මට තේරුම් ගන්නට බැරිය. අනෙක් අතට ජීවිතයේ බොහෝ දේ එලෙස තේරුම් ගන්නට උත්සාහ කළ යුතු නැත.එයට හේතුව, එවැනි තේරුමක් ඒවායේ නැති නිසාය.



එසේ වුවත් ජීවිතය සුන්දර යැයි මම විශ්වාස කරමි. නුවර යනු සුන්දර ජීවිතයේ මට තවත් සුන්දර මතකයන් ගොන්නක් සහිත ස්ථානයකි. පුනරුත්පත්තියක් කියා දෙයක් තිබෙනවා නම්, ඇතැම් විට එය සංසාරයේ ඈත සිට පැමිණෙන ගුප්ත සබැඳියාවක් විය හැකිය. එසේ නැතිනම්, මම මේ භවයේ සිට සංසාරයට රැගෙන යන රමණීය මතකයක් විය හැකිය.



මට එක සිහිනයක් තිබේ. ඒ මේ ජීවිතයෙන් නික්ම යන්නට පෙරාතුව නුවර කුඩා නිවහනක හුදෙකලා, පිටස්තර, නිහඬ ජීවිතයක් ගත කිරීමේ සිහිනයයි. එය කිසිවෙකු ඇතුළු නොවෙන, කිසිවෙකුටත් නොපෙනෙන, කිසිවෙකුත් නොදකින ජීවිතයක් විය යුතුය. ඒ සියුම් රිදුම මට රිසි සේ විඳීමට අවැසිය. පැය ගණන්, වරු ගණන්, දින ගණන්, මාස ගණන්, වසර ගණන් එම රිදුමේ නිමග්නව කල් ගෙවීමට අවැසිය. එසේ වුවහොත්, කවදා හෝ දිනක එය මට සංසාරයට රැගෙන යා හැකි අපූරු මතකයක් වනු නියතය.



රසික ජයකොඩි


9 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මේ වගේමයි.. මම ගාල්ලට ගොඩක් ආදරය කරනවා.. සමහර විට මම ජීවත් වෙන නුවරටත් වඩා.. එහෙම වෙන්න කිසිම හේතුවක් මං හැර වෙනත් කිසිම කෙනෙකුට දශමයක්වත් වටින්නේ නෑ.

    ඔයා දකින ඒ හීනය මමත් දකිනවා.. කවදා හරි මැරෙන්න කලින් ගාල්ලේ පුංචි නිවහනක්..!

    ReplyDelete
  3. මාත් නුවර ගිය දවසක හිතුනා වැව රවුමේ පෙම්බර මතකයක් තිබුනොත් අපූරුයි කියලා.. කවදා හරි ඒ හීනෙ සැබෑ කරගන්න ඕනි..

    ReplyDelete
  4. ඔබට නුවර වගේ මගේ හිතට ඒ හැඟීම දෙන්නේ හම්බන්තොට..මම කවදාවත් හම්බන්තොට ගිහින් නැහැ..ඒත් ඒ තරම් දුර ඈත ඉඳන් මාව හොයාගෙන මගේ ලෝකෙට ආපු කෙනෙක් නිසා ..මගෙ මුලු ලෝකයම වුන කෙනෙක් නිසා මට ඒ නගරය ගැන ඇසෙනවිට දකින විට ඔබ කීවසේ විදුලි ඉරක් මගේ මනසෙත් ඇඳෙනවා..අද එයා මා ලඟ නැති වුනත් ඔබ නුවර නිහඬ ජීවිතයක් ගෙවන්න හීන මවනවා වගේ මම හීන මවන්නේ මම ඉස්සර එයත් එක්ක හීන මැව්ව විදිහටම හඳපානේ හම්බන්තොට මුහුදු වෙරලේ එයා ලඟට වෙලා ඉන්න..මැරෙන්න කලින් ඒ හීනේ ඉටු වුනොත් මුලු සන්සාරයටම ඒ මතකය මා ලඟ රැඳේවි..

    ReplyDelete
  5. මම නුවර ඉපදුන කෙනෙක් නෙවෙයි.. ඒත් 2002 ඉදල 2008 වෙනකන්ම හිටියා.. අවුරුදු 16දි තමයි ආවේ.. ජීවිතේ හොඳම කාලෙ මන් දන්න හොඳම තැන ඉන්න තරම් මම වාසනාවන්ත උනා.. නිමා නොවන ප්‍රේමයක් හොයාගන්න වාසනාවන්ත උනා..ඒකත් ප්‍රථම ප්‍රේමය.. නුවරට එද්දි හිතේ ගොඩ ගැහෙන ඒව ලියන්න බ්ලොග් 100කුත් මදි.. අදටත් මම නුවරට ආදරෙයි.. දැං ජීවත් වෙන්න සිද්දවෙලා තියෙන කොළඹටනම් මගෙ කිසි කැමැත්තක් නෑ.. වැව රවුම.. ඩෙවෝන් එක.. වීදි දිගේ ඇවිදපු හැටි.. රෑ තිස්සෙ රස්තියාදු ගහපු හැටි.. තාම මැවිල පේනවා.. නුවරදි හම්බකරගත්ත ආදරය වගෙම වටින යාලුවො රොත්ත අදටත් මාත් එක්ක ඉන්නවා..

    ReplyDelete
  6. මෙහෙම ආදර කතා නැත්තේ කාටද? නමුත් මතක තියා ගන්න සංවේදී බව සහ මධුවිත කියන දෙය එකිනෙක ගැලපෙන්නේ නැති බව. ඔබ එහෙම හිතනවා ඇති නමුත් එය සත්‍යයක් නොවෙයි!

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. An article , see through you .I am never tired of reading your life story ..and loved always this deep feeling of Love and Life ..

    ReplyDelete
  9. Everyone has a dream future and live in it ....

    ReplyDelete