Tuesday, April 13, 2010

මගේ අවුරුද්ද


ලියා නිම නැති ලිපියේ
අවසාන කොළය
සුළඟට මුසුව ඉගිලී
මේසය මුල පතිත වෙයි.

අවසාන මිනිස් පුළුටද
කන්තෝරුවෙන් නික්මෙයි..

" සුබ අලුත් අවුරුද්දක්.."

දොර ළඟට යන ඔහු
මොහොතකට යළි හැරී
එසේ පවසයි..


"එසේම වේවා"

අසුනින් නැගිට
දෙපිය මැන
කවුළුව අසළ
සිටගනිමි..

පරණ අවුරුදු දවසේ
කල් ඉකුත් වුණ
වියපත් තුරුපතක්
නටු අගින් ගිලිහී
බිම වැටෙනු පෙනෙයි.

ළඟපාත
පාළු වී ගිය නිවසක
කළු බැඳුණු
රට උළු මතින්
ලේනෙක් පැන දුවයි.
"ජීවිතය දිගයි"
ඌට නොහැඟෙන්නේත් එයයි..


ඇසට නොපෙනෙන අත්තක
වසං වී හිඳ
කොළඹ කපුටෙක්
අවුරුදු ගීතයක්
රැව් නංවන්න වෙහෙසෙයි..

ඒ ගසම පාමුල
වැලි බොරලු යහනක
ළදරු බලු පැටවෙක්
මව් ඇකය තුළ ගුලිවෙයි..
ඈනුම් අරින විට
උගේ කිරිදත් මතුවෙයි..

" සුබ අලුත් අවුරුද්දක්.."

මම උන්ට
හදවතින් සුබපතමි..



රසික ජයකොඩි
12. 04. 2010
"රිවිරේ" දී

2 comments:

  1. ඔයි වගෙ බලු නොවෙන කොලු පැටව් කී දෙනෙක්....ගස් යට ඉඳ ගෙන අවුරුදු සමරණව ඇතිද??.....නිකම් ඉඳන් ඉල්ලා කන්නට හුරු කල උන්ගේ මව් පිය පරපුර නිසාවෙන්.......

    ReplyDelete
  2. අලුත් අවුරුද්ද තාමත් අලුත්ලු
    එත් ඒ අලුත් බව නොහැගෙන්නෙ
    මගේ හිත පරණ නිසාද තවම. . . ?

    ReplyDelete