Monday, August 31, 2015
අහසට වීසි කළ පෙම් කවියක්
මහද්වීපයක වැලි කැට අතර - හිස් ඉඩක සැඟවෙන්න
පිපාසිත කවියකට බැරි වෙන්න
වලාකුළු පිට නැගී - වේගයෙන් ඔබ එන්න
අහස් ගැබ ඉරුණු තැන් අහුරන්න
අඬන්නට ඉන්න ඇස් සනසන්න.
සිරකුටිය තුළ නිදන සොරෙකුටත් -
සිහිනයක් තිබෙන බව දැනගන්න
එන්න වෙයි ඔහුටවත් නොදැනෙන්න
රළු පොළොව මතින් ඔබ සැතපෙන්න
කාලයේ වැලි අතින් අමදින්න
කිසි දෙයක් නොදත් සේ හිනැහෙන්න.
සුළඟකට මුවාවී - පැරණි කොළ එකින් එක ගලවන්න
අවැසි නැති බව ගසට පවසන්න
ආදරය අලුතින්ම දළු ලන්න
ඉඩ තිබෙන තැන් හොඳින් විමසන්න
තමන්ටම අයිති යැයි හිතෙන එක හිස්තැනක්
ගැඹුරු හුස්මක් හෙලා සිපගන්න- එතැන ඔබ සදාකල් නවතින්න
අනුන්ගේ නිම්නයට පිවිසෙන්න
පාර අවුරනු ලැබූ දෙපයකට
කාලාන්තරයක්ම නවතින්න
සිලිටි නිල් තණ පත්‍ර ඔබ වෙන්න
බොහෝ කල් එකතු කළ - වේදනා කුසුම් සේ පලගන්න
වැහිවතුර දෙනෙත් වල පුරවන්න
වලාකුළු මත නැගී ඔබ එන්න.
* * *
( රසික ජයකොඩි 22-07-2013 )
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment