Saturday, December 18, 2010

ජෙරුසලම් නුවර රාත්‍රියක


වලාකුළු පිරි අහස
අරා ඉහළට නැගෙන
තුඟු මහල් ප්‍රාසාද අභිමුවෙහි
කුහුඹුවෙකු විලාසෙන් සිටගනිමි..
ප්‍රාකාර සඳලුතල
දිගු වීදි පීරමින්
දැක පුරුදු සිනහවක්
හුරුපුරුදු කතාවක්
මම සොයමි.

කටු අනින වියරු සීතල රැගෙන
අසිහියෙන් සිරුර මත දඟ කරන
සීත මෝසම් සුළඟ පිරිමදිමි.
රැය ගෙවී උදාවන තවත් එක් අලුයමක
රන් පැහැය නොතැවරෙන අළු පාට ගුවනතෙහි
සියතින්ම තනාගත් අලුත් මාවත් දිගේ
ඒ සුළඟ පියාඹන සැටි දකිමි..

වේගයෙන් ඇවිද යන මිනිසුන්ට
ජීවිතය මග හැරෙන බැව් සිහිව
මොහොතකට නතර වී,
සීතලෙන් හැකිළ ගිය තොල් වලින්
පෙණ පිපෙන මීවිතක් සිපගනිමි.
නන්නාඳුනන රටක
නාඳුනන සුසුම්, කඳුළැලි සමග
හුදෙකලාවේම සව්දිය පුරමි..

වලාකුළු මැද අහස
අරා ඉහළට නැගෙන
සඳ කොහිද මම තවම එය සොයමි.
කුළුණු ප්‍රාකාර මත අහසෙ ඉඩ ඇති තැනක
හිරිවැටුණු ඇඟිල්ලෙන්
හුරුපුරුදු
සඳෙහි හැඩතල අඳිමි..


රසික ජයකොඩි
දෙසැම්බර් 2010

2 comments:

  1. කවිය හරිම ලස්සනයි ....
    ඔයවගේ නගරයක ජීවත් වීම මට නම් හීනයක් ඔයා මොකද දුක්වෙන්නේ ?

    ජයවේවා !!

    ReplyDelete
  2. වලාකුළු මැද අහස
    අරා ඉහළට නැගෙන
    සඳ කොහිද මම තවම එය සොයමි.
    කටු අනින වියරු සීතල රැගෙන
    අසිහියෙන් සිරුර මත දඟ කරන
    සීත මෝසම් සුළඟ පිරිමදිමි.
    හරිම ලස්සනයි.
    මැණික්(සුළඟ)

    ReplyDelete