Wednesday, October 20, 2010

හැඟුම් නැති කවියක්


අකුරකට පුළුවන්,

හැඟුම් නැති

දුරකථන මුහුණක

අඳුන් සිතුවම්

අඳින්නට


ඒ සිතුවමට පුළුවන්

ඇස් වලින් සිනාසෙන්නට

ගොළු බසින් කතා වෙන්නට

රතු ඇස් මත වුණත්

නුහුරු සීතල

තියා යන්නට..


පුළුවන් ඔබට

කවියක් ලියා දෙන්නට

තෙත සිඳුණු

අමාවක අහසට..

වැහි වලාකුළු

ඒ යට රොද බැඳෙන හැටි

ඈත සිට

බලා ඉන්නට..


පුළුවන් ඔබට

කවියක් ලියා යන්නට

පා තුඩින්

නන්නාඳුනන වෙරළක..

කුහුඹුවෙකු

ඒ මත නිදන හැටි

දුර සිට

බලා ඉන්නට..


පුළුවන් ඔබට

කවියකින් අමතන්නට

ඍතුවෙන් ඍතුවට

පියඹන

වලාකුළු මිනිසෙකුට..


කල්පයක් දුර සිටියද

ගල්ගැසී ඔහු

නතර වන සැටි

පුළුවන් එවිට

බලාගන්නට


දුටුවාද..?


ඔහුගෙ ළය මැද

කළු වලාකුළු

කැටිති අස්සෙන්

ඉඩ ඇති ඔබට

හමා යන්නට...


Monday, October 18, 2010

දුඹුරු ඇස් සිහිනයක්


හිමිදිරියක්
අවන්හලක්
මේසයක්..
දෙපස
ගැහැණියක්
සහ
මිනිසෙක්..
ඒ ගැහැණියට තිබුණේ
දුඹුරුම දුඹුරු දෑසක්..

වචනයක්
දෙකක්
ආයෙත් සිනහවක්..
මල් පියලි කොපුලත
පොපියන
අලුත් පිනි තිතක්
එය හදවතක්..
එක් කලෙක
කළු දුඹුල් බැඳි
පැරණි හදවතක්..

දුඹුරු ඇස් ළඟ
හෝරාවක්
දෙකක්..
ජීවිතය තරමට දිග
ඇසිල්ලක්
දිගම දිග
කෙටි කවියක්...
මීදුමක් සහ මතකයක්..

ඉනික්බිති අඳුරක්


කලකින් හමන
අකල් සුළඟට
බිම වැටුණ
තුත්තිරි මලක්..
නෑ
එය හදවතක්..?

එමල මත
කඳුළක්
කඳුළ මත
පා පතුලක්.
ඇය ගැහැණියක්!
දන්නවද
ඒ ගැහැණියට තිබුණේ
දුඹුරුම දුඹුරු දෑසක්..


රසික ජයකොඩි