Tuesday, March 2, 2010

පරමලක කවිය


"තවත් ආරංචියක් තියනවා. නොරිකො සං ට පෙම්වතෙක් ලැබුණා. එයා හොඳ කඩවසම් පුරුෂයෙක්. එයා නොරිකොට කැමතියි. නොරිකො ද එයාට කැමති හැඩයි.."

ලියුමේ අවසාන කොටස කියවූ මට දැණුනේ මා සිටගෙන සිටි තැන පොළොව හදිසියෙන් කිඳා බසින්නා සේය. නොරිකොට පෙම්වතෙක්! ඈ විවාහ වීම වෙනම කාරණාවකි. එහෙත් ඇයට පෙම්වතෙක් සිටීම! " නොරිකො ද එයාට කැමති හැඩයි"....ඈ කිසි කෙලෙක මට ආලය කළේ නැත. මට ඒ බව ඉවකින් මෙන් හැඟුණි. ඈ මට හුදෙක් කරුණාවෙන් සැලකුවා පමණි. මා සමග කතාබහ කිරීමට ඈ ප්රිය කළාය. එහෙත් මම පිට කෙනෙක් වෙමි.....
- දෙවෙන්දොරා සං ( මළගිය ඇත්තෝ - පිටුව 79 )


මුවින් හළ දුම් වළලු
අඳින විට දේදුන්න
සොහොන් කොත් පාමුලට
ඇද හැලෙයි රෑ පින්න

මැදින් සඳ මකන විට
රැයක ඇඳි සෙවණැල්ල
හමන්නට අමතකව
නතර වෙයි පවනැල්ල

බිඳෙන් බිඳ පරව යත
සිත'ග පිපි හසරැල්ල
කොපුල් මිටියාවතට
ගඟක් වෙයි කඳුළැල්ල

අඳුරුබර රැය දිගයි
යළි නො එයි සඳ එළිය
ගැඹුරු හදගැබ නිදයි
එළි නුදුටු පෙම් කවිය

ඇස් වලින් කතා වුණ
හුස්මකට ගිලිහෙන්න
හිස් වුණත් හදමඩල
ඇස් පියා ඉඩදෙන්න

දකින්නට අකැමැතිම
කළුවර තුළට ගෙවැද
දුකින් වුව කුරුල්ලෙකු
පියෑඹිය යුතු නොවෙද...?

නෙතින් අවසර කුමට
කඳුළකට වෑහෙන්න
ඉතින් පරමලකි සිත
ඇවිත් එය පාගන්න


රසික ජයකොඩි
2010 මාර්තු 03
පාන්දර 12.55ට

5 comments:

  1. දුහුනාට ප්‍රතිචාරයට වචන නැති විය...

    ReplyDelete
  2. අම්මෝ.....නියමයි...මළගිය ඇත්තෝ ආයෙමත් කියවන්න හිතුනා...ඔව් අදම කියවනවා...ආයෙමත්

    ReplyDelete
  3. කිසිවකුගෙ දුකක් කවියකින් ගලන සඳ
    ලස්සනයි කියන්නට හිත හදා ගනු කෙලෙස?

    ReplyDelete
  4. The worst message , a lover could get ...

    ReplyDelete