Monday, February 8, 2010

සිංහයා නොකී කතාව



මමයි ඒ සිංහයා

අනෝරා වැසි මැදින් හිස නගා
සැඩ සුළං අකුණු සැර පරදලා
වලාකුළකට කරමි ගර්ජනා


අබිමනින් පා ලකුණු තිය තියා
තැනිතලා බිම මැදින් ඇවිදිනා
කෙසර හිස අහංකාරෙන් සලා
ගිරිහිසට හිනැහෙනා
මමයි ඒ සිංහයා


මලානික තරුවලින් මග අසා
රැයේ මැද ගල්ලෙනට පිවිසෙනා
දෙපා යුග කකියනා
සුසුමෙනුත් හතිලනා
මුවා වී කළුවරේ සැඟවෙනා
විඩාපත් සිංහයා වැතිරෙනා


ඇස් අතර කාටවත් නොපෙනෙනා
දුකඳුළකි සිරගතව වැළපෙනා
සිහිනයෙන් ඒ කඳුළ සසැලෙනා
නොදැනීම කොපුලත'ට පිවිසෙනා
උදෑසන අවදිවන සිංහයා
රහසින්ම සිය කොපුල පිසලනා


පිණි කඳුළු වියලවා
හිරු එළිය වන අරණ සිඹිනවා
ගල් ලෙනෙහි දොර වසා
යළිත් ඒ සිංහයා
අභිමනින් හිස නගා බලනවා



රසික ජයකොඩි
08.02.2010

5 comments:

  1. අපූරුයි..... මනහර ලෙසම චිත්ත රූප මවන සුලු කවියක්....

    සිංහයාගේ තේජස, අභිමානය, උඩඟු බව, නොනැමෙන සුලු ගතිය දැල්වෙන ජීවිතයේ එක් පැතිකඩත්, ගොම්මනේ වෙහෙසින් සොවින් බරව යලි ගුහාවට ඇදෙන, හඬමින් නින්දට වැටෙන, නින්දෙන් පවා හඬන අඳුරු ශෝකී බවත් නිරුත්සාහයෙන්ම අපේ ඇස් ඉදිරියෙ මැවෙනවා....

    ජය!

    ReplyDelete
  2. ඕනෑම ‍චරිතයක් පිටුපස අපි නොදකින් ඉමක් තිබේ..
    නියමයි..!!
    සිංහයෙක් ගැන කවදාවත් මේ විදියට අහලා තිබුනේ නැහැ.

    ReplyDelete
  3. වෙනසක්..
    ඇත්තටම this is awesome..!!

    ReplyDelete