
කලපු දියවර
නිසලව තිබිණි...
දිය සරැළි
නිදි බැවින්
මම
ඇඟිල්ලෙන්
කලපු ළය මත
ඉරි අඳිමි...
පහතට නැඹුරු
දෙ ඇසේ
රඳනු නොරිසිව
කඳුළක්
සිහින් හඬකින්
දිය මත
පතිත වෙයි...
සිහිනයෙන් තිගැස්සී
ඇහැරුණු
රිදී පැහැ මසෙක්
ඇස් නගා විමසා
වරල් සේලය පොරවා
යළිත්
නින්දට යයි...
නිහැඬියාවකි..........
වලාකුළු බර
දරනු බැරි සඳ
වේදනාබර
මොහොතක
රැයට
සමුදෙයි..
ඇසට
නිදිමත එයි..
අන්ධකාරය
රජවෙයි
..............
ඉදින්..
පසුදිනෙක
අලුයම..
හිරු නැගෙනු
පෙරතුව..
කළපු දිය මතුපිට
කඳුළ සිපගත් තැන
අලුත් නෙළුමක්
සුපිපෙයි…..
පිණි තිතක් වුව
නොරැඳෙන
එ'නෙළුමේ කොපුලත
ලුණුම ලුණු රස
පැරණි කඳුලක්
දිලිසෙයි...
* * *
රසික ජයකොඩි
2010 පෙබරවාරි 28 වැනිදා
පාන්දර 2.10 ට