Wednesday, March 17, 2010

පිළිතුරක් නැති ප්‍රශ්නයක්


ඇඳිරි නීතිය පැන වූ රැයක
අන්ධකාරය කපාගෙන
අකීකරු සිහිනයක්
ඉබාගාතේ ඇවිදියි...

අවකාශයේ සැරිසරන
වැහි වලාකුළක සිරගත
කඳුළකට
ඒ සිහිනය මතට වැටෙන්නැයි
මම ඇරයුම් කරමි..

එවිට ඒ කඳුළ
රැලි නගා නළල
හකුළුවා දෙබැම
මගේ මුහුණට එබී
ඔරවයි!

"වේසියක් කියල හිතුවද...? "

සිනහවක් මිස
කෝපයක් නොනැගුණුයෙන් මම
සෙල් රුවක් මෙන්
නිරුත්තරව හිඳිමි..

වැලි බොරළු දෙපතුළ ඇනගෙන
රැය ගෙවෙන තුරු ඇවිදින
ඒ අකීකරු සිහිනය
එක්තරා නිශ්චිත මොහොතක
කොහේ හෝ බැරියරයක් ළඟ
ගල් ගැහී
නවතියි.

එ'මොහොතේ,
අභිරමණීය සිරගෙයක..
වලා කැටියෙන් සුසැදි
යකඩ පොලු අතර හිඳ
වැහි කඳුළ
හීනියට ඇස් නගා
හීනයට
හිනැහෙයි...

රසික ජයකොඩි

2 comments:

  1. rasika
    රැ වෙලා ඇවිල්ලා අදහසක් තියලා යන්නම්.. දැනට නම් කියන්න තියන්නෙ අමුවටම දෙයක් කියනවා හංගලා...

    ReplyDelete