Sunday, March 28, 2010

වස්සාන ගීතය හෙවත් "ඔබ"


යළිත් වස්සානයයි

ජීවිතය කුසීතව
යහන මත
දිගෑදෙන
යාමයයි..

රෑ පුරා වෙහෙසවී
අකුරු කළ
මතක පොත
දැන් වසා
පැත්තකින් තබන්නට කාලයයි..

ඉර්තුවක් තිස්සේම
එකතු කළ දුක දරා
ගිම්හාන සුළං රොද
තටු සලා
දුරින් දුර පාව යයි..

තෙමි තෙමී ඇවිද'විත්
තෙතබරිව
කවුළු දොර අසළ අර හිඳින්නේ
මගහැරුණ
වස්සාන හීනයයි..

ඇබින්දක් කන්දෙන්න

යටගියාවට වැටෙන
වැහි කඳුළු
එ'බිම මත උපදවන
සුවඳ දහරක එතී
සිහිනයක් විලස ළඟ රැඳෙන්නේ
නිහඬතාවය
හඬන රාවයයි..

අදහන්න පුළුවන්ද,
එයින් පණ පෙවෙන්නේ
මිය ඇදුණ හදවතක
ගීතයයි..




රසික ජයකොඩි
27. 03. 2010

Tuesday, March 23, 2010

මිනිසෙක් සහ කුහුඹුවෙක්


ලියන මේසය මත
සුදෝ සුදු හිස් කඩදාසියක
නන්නාඳුනන කුහුඹුවෙක්
ඇවිදියි

කාගෙවත් ඇස නොගැටෙන
වලගොඩැලි කඩතොලු වල
පා පැකිල බිම වැටෙන

දහිරියෙන් හිස නගා
ආයෙමත් නැගිටියි


පෑන් තුඩ'ගින්
උණු උණුවේම ගිලිහුණ
අකුරක
ඉතිරි වුණ හිස් ඉඩක
කුහුඹුවා
මොහොතකට නවතියි

එය ඌට
නිවහනකි

එවන් අකුරුම
එක පෙළට ගළපා
එතැන වටකොට
කවක් ලියනෙමි.
"ඔහොම ඉන්නැයි"
ඌට අණ දෙමි

එය ඌට
සිරගෙයකි..

Wednesday, March 17, 2010

පිළිතුරක් නැති ප්‍රශ්නයක්


ඇඳිරි නීතිය පැන වූ රැයක
අන්ධකාරය කපාගෙන
අකීකරු සිහිනයක්
ඉබාගාතේ ඇවිදියි...

අවකාශයේ සැරිසරන
වැහි වලාකුළක සිරගත
කඳුළකට
ඒ සිහිනය මතට වැටෙන්නැයි
මම ඇරයුම් කරමි..

එවිට ඒ කඳුළ
රැලි නගා නළල
හකුළුවා දෙබැම
මගේ මුහුණට එබී
ඔරවයි!

"වේසියක් කියල හිතුවද...? "

සිනහවක් මිස
කෝපයක් නොනැගුණුයෙන් මම
සෙල් රුවක් මෙන්
නිරුත්තරව හිඳිමි..

වැලි බොරළු දෙපතුළ ඇනගෙන
රැය ගෙවෙන තුරු ඇවිදින
ඒ අකීකරු සිහිනය
එක්තරා නිශ්චිත මොහොතක
කොහේ හෝ බැරියරයක් ළඟ
ගල් ගැහී
නවතියි.

එ'මොහොතේ,
අභිරමණීය සිරගෙයක..
වලා කැටියෙන් සුසැදි
යකඩ පොලු අතර හිඳ
වැහි කඳුළ
හීනියට ඇස් නගා
හීනයට
හිනැහෙයි...

රසික ජයකොඩි

Saturday, March 13, 2010

"දික්කසාදය"



මකුළු දැලකි බිතු සිතුවම
මැරුණු සුසුමකින් ලඹ දෙන
වැසුණු ජනෙල් කවුළුව මත
ලකුණු ය ගොළුබෙලි ගමනක...


පෙරළුණු මල් බඳුනක් තුළ
කඩදහි මල පෙති හැකිළුණ
අඩක් දැවුණු දුම්වැටිය ද
නිදයි අවසඟව මිහිකුස...


රැලි නොමැකුණු සයනය මත
පැරණි පොතකි පිටු විසිරුණ
තීන්ත ඉතිරුණු පන්හිඳ
නිල් පාටැ'ති ලේ වගුරන...


කෙඳිරිලමින් රෑ තුන්යම
බමන අඳුරුබර සිහිනය
මදුරු මලකුණක් විලසින
අත්ල මැදින් සලකුණු විය


රසික ජයකොඩි

Wednesday, March 10, 2010

මන්දාකිණි


මන්දාරමේ දිලිසෙන
මන්දාකිණිය ඔබම ද
ගිම්හානයේ අහසට
හැන්දෑවක්ව පැමිණෙන..?


කාත් කවුරුවත් නැති මොහොතක
ආත්මය මිලානව සැඟවිණ..
ඈත් වෙන සුවඳකින් නෙතු හැර
දෑත් බැඳ මග බලමි තනිවම..

ප්‍රේමයක් කිසිදාක නොලැබම
හීතලෙන් මිය ඇදෙන මලකට
හීනයෙන් මෙන් දිනක හමුවන
දෑසකින් ලියැවේද සෙනෙහස...?

සකුණසර ගල් ගැහී ගොළුවන
විපිළිසර කෙටි නිහැඬියාවක
අනවසරයෙන්ම මට අමතන
සෙනෙහෙබර කටහඬකි මතකය..


සන්තානයම හඬවන
මන්දාකිණිය ඔබම ද
සංසාරයේ දුර සිට
මන්දාරමේ පැමිණෙන...?


රසික ජයකොඩි

Monday, March 8, 2010

තනි මල සහ තනි සිත


පිටෙන් පිට
මගහැරුණ
පොතකි.
ඉදින් එය
අතහැරුණ
සිතකි...


ඇසිපියෙන්
දිග හැරෙන
රැයකි.
ඇසිපියන්
යට උපන්
කවකි...



දුර ඇදෙන
සුසුමකින්
නොමැකී
සුළඟ වුව
හැඬුම්බර
හඬකි..



කඳුළින්ම
තෙතමනය
සුරැකී
රහසින්ම
පිනි ඉසුණ
බිමකි



එකසරව
ජනිත වුණ
මලකි.
එවිට එය
තනි සිතට
පෙමකි...


රසික ජයකොඩි
09.03.2010
අලුයම 12.45 ට

Wednesday, March 3, 2010

නයන සිත්තම


සිහිනයක් මත
තුහින ඇඳි සිතුවමකි
හිත.
පින්සලය තුළ
හුස්මක්ව රැඳෙන්නේ
ඔබ.


බිම් තලය මත
බිම්මලක් වී පිපෙමි
මම.
නිම් වළල්ලක
නිම් නොදැන
පියාඹයි
ඔබ.


ගිම්හානයට
වස්සාන කුසුමක්ය
ඔබ.
බොල් අහස යට
කල්පයකි ජීවිතය
මට.


නිල් නයන මත
මල් පිපෙන සුපැතුමකි
දුර....
කටු ඇනෙන මග
නටුව මත පා නගමි
මම.


ලිය මඬුලු යට
සීතලට නිදි බිඳෙන
විට
ගුලි ගැහෙන හිත
පිරිමදින උණුසුමකි
ඔබ.




රෑ 1. 20ට

Tuesday, March 2, 2010

පරමලක කවිය


"තවත් ආරංචියක් තියනවා. නොරිකො සං ට පෙම්වතෙක් ලැබුණා. එයා හොඳ කඩවසම් පුරුෂයෙක්. එයා නොරිකොට කැමතියි. නොරිකො ද එයාට කැමති හැඩයි.."

ලියුමේ අවසාන කොටස කියවූ මට දැණුනේ මා සිටගෙන සිටි තැන පොළොව හදිසියෙන් කිඳා බසින්නා සේය. නොරිකොට පෙම්වතෙක්! ඈ විවාහ වීම වෙනම කාරණාවකි. එහෙත් ඇයට පෙම්වතෙක් සිටීම! " නොරිකො ද එයාට කැමති හැඩයි"....ඈ කිසි කෙලෙක මට ආලය කළේ නැත. මට ඒ බව ඉවකින් මෙන් හැඟුණි. ඈ මට හුදෙක් කරුණාවෙන් සැලකුවා පමණි. මා සමග කතාබහ කිරීමට ඈ ප්රිය කළාය. එහෙත් මම පිට කෙනෙක් වෙමි.....
- දෙවෙන්දොරා සං ( මළගිය ඇත්තෝ - පිටුව 79 )


මුවින් හළ දුම් වළලු
අඳින විට දේදුන්න
සොහොන් කොත් පාමුලට
ඇද හැලෙයි රෑ පින්න

මැදින් සඳ මකන විට
රැයක ඇඳි සෙවණැල්ල
හමන්නට අමතකව
නතර වෙයි පවනැල්ල

බිඳෙන් බිඳ පරව යත
සිත'ග පිපි හසරැල්ල
කොපුල් මිටියාවතට
ගඟක් වෙයි කඳුළැල්ල

අඳුරුබර රැය දිගයි
යළි නො එයි සඳ එළිය
ගැඹුරු හදගැබ නිදයි
එළි නුදුටු පෙම් කවිය

ඇස් වලින් කතා වුණ
හුස්මකට ගිලිහෙන්න
හිස් වුණත් හදමඩල
ඇස් පියා ඉඩදෙන්න

දකින්නට අකැමැතිම
කළුවර තුළට ගෙවැද
දුකින් වුව කුරුල්ලෙකු
පියෑඹිය යුතු නොවෙද...?

නෙතින් අවසර කුමට
කඳුළකට වෑහෙන්න
ඉතින් පරමලකි සිත
ඇවිත් එය පාගන්න


රසික ජයකොඩි
2010 මාර්තු 03
පාන්දර 12.55ට

Monday, March 1, 2010

නිලාවේලියේ රැයක්


දිගාරින්නට අවසර...
මලානික සඳවත
නිලාවේලියෙ වැලි මත

යන එන වැලි කෙළින
සිනා ඉරි ඇඳ තුටුවන
ආගන්තුක මුහුණු මිස
නිනව් නැති හිත පිරිමැද
රිදුම් දෙන තැන් සනහන
කෙනෙක් මෙහි ඉතිරිව නැත..

දළ රළ පෙළ සමග
හැපී හිනැහෙන අය මිස
රැළි නැගෙන වෙරළ'ත
ඉකි බිඳින සරතැස
විමසන කෙනෙක් මෙහි නැත..

අරුණු දොරකඩ රන'ඹර..
මළහිරු අඳින ලා රත..
බලා සැනහෙන අය මිස
වැන්දඹු කළුවරට
පෙම් කළ කෙනෙක් මෙහි නැත..

කියාගන්නට බැරි දුක
තියාවිත් මේ කුළු යට
දිගාරිනු මැන සඳවත
මලානික හදවත
නිලාවේලියෙ වැලි මත..


නිලාවේලියේදීය
14.01.2010