Thursday, December 31, 2009

2010

අතීතය කරින් ගත්
මිනිසෙක්ය මංසලක

ඔව්..ඔහුට
මල් වෙඩිල්ලක් නොවෙයි
ජීවිතය..

සුළං තටු පහර වැද
දාස්පෙතියා මලක්
දැදිරි වී බිම වැටෙත
ඔහු දෙපා අද්දරම
'ආචාර වෙඩිමුරයකැයි'
කෙලෙස කියන්නද..?

අමාවක මැදියමක
ඔහු කොපුල මත වැටෙන
වැහි බිංදු
සෙමෙර නොව
හී තුඩුය..

සිහිනයක් දුහුවිලිව
ගිය කලට
තණපතත්
ඔහුට
මතු මහලකිය

ඒ නිසා දැන් ඔහුට
තණසුළක් යට වුවත්
සැතපෙන්න ඉඩ ඇතිය

අතීතය කරින් ගත්
මිනිසෙක්ය මංසලක
සිනහවක් සිතක නැති
කඳුලකුත් නෙතක නැති..

Sunday, December 27, 2009

සුළඟට කියමි


( "මම යනවා එනවා.. ඒ මගේ හැටි..") - දෙබසකින් ඇහිලූ වචනයක්..

ඉතින් එය ඇත්තක්..
සුළඟක් කියන විට රහසක්..
එය කොහොමටත් ඇත්තක්...

ඒ වුණත් ඔබ
දුර සිට අරන් එන කවියට
මම නමක් දිය යුතු ම ද ?
එය නිදා උන් කවියක්
කිසිදින ඇස් නාරි'තැයි
මා සිතා සිටි
කවියක්...

මගෙ හිත යටත්
තිබුණා සුරුවමක්
කොහෙ හෝ අඳුරු මුල්ලක..
කාලයේ වැලි දූලි ඒ පිට...
කිරිදතක් සේ එය
යළි මතු වෙලා එනවිට
මෙතරම්ම සීතල
දැනෙන්නේ ඇයි මගේ කොපුලට...?

ගිම්හානයේ ගිනියම
දවන බව ඇත්තයි
නිම්නය...
ඒත් කොතැනක හරි
හැංගිලා ඇති ලපළුත්...
සුළඟකට පමණයි
එය සොයාගන්නට පුළුවන්..

ඉතින් දැන් මම හිනාවෙන්නම්..


වග වාසගම් නැති වුණත්
ඒ කවිය මට හරි හිතවත්..
සුරුවම දිසෙයි රැයටත්
තවම ලඹ දෙයි ලපළුත්...

Thursday, December 24, 2009

රකුසෙකුගේ සෙනෙහස


සුළඟ ලෙස යන එන ඔබ
ළඟට විත් හිනැහෙන විට
රිදව ගෙන හද සෙල් බිත
හඬන රකුසෙක් වෙමි මම...


නිල් මිණි නයන යුග ඔබ
දුල් පිණි සලන මොහොතක
දල්වනු බැරිව කවිසිත
ගිල්වමි සොහොන් කොත යට


මලානික පරඬැල් පත
ගසාගෙන සුළගට යත
වසාගෙන දෑතින් වත
හඬා වැළපෙමි තනිවම..


බොහෝ දන ලොව සැතපෙන
රැයේ අන්තිම යාමෙක
ලියා කවියක ඔබ ගැන
තියා සඟවමි හිත යට..


වලාවක නැග ඈතට
පලා යන දවසක ඔබ
නොලා සෙනෙහස හුළඟට
බලා ඉමි සිත සිරකොට..

මම, මගේ සිත සහ ඇය


දැවී ගිනිගෙන සිතිජය...
පිපී කුමකට සිහිනය..?
ඇගේ ඇස අග රමණය...
මගේ සිත වට මරණය...

ලැව් ගිනි නගින කැළයට
බොල් පිණි ඉසින සඳවත!
රන් කිරි සිඳුණ දවසට
තන් පුඩු තෙරෙහි රුධිරය...

ආදම් උයන දොරකඩ
සාතන් හිඳියි තනියම
ඊවා නිදන යහන'ත
නාඩා හඬන ගණ'ඳුර...

ආරණ්යයක කෙළවර
ගිනියම් මලකි හතිලන..
චාලිද්දරය මතුපිට
කන්යාවියකි හිනැහෙන

ඇගේ ඇස අග රමණය
මගේ සිත වට මරණය...

Monday, December 21, 2009

හිම කිරිල්ලී


හිම පාට
කිරිල්ලිය...
මහ රෑක
නිදි බින්ද..
රකුසෙකුගෙ
රතු පාට
ඇස් දෙකක...

කුලුඳුලේ
බිම වැටෙන
හිමකැටය...
රැඳේවිද
කළු පියාපතක්
මත..?


කඩුපුලක්
පිපේවිද
මැදියමක..?
හිනාවෙන්නට
නොදත්
ගල්කුළක..


සාවියක්
කොයි ලෙසක
සැතපෙයිද...
වළ ගොඩැලි
පිරුණ කල
සඳවතක


සිනා සී
ගලා යන කල
ගඟට...
ඇහුණාද
පෙණ පොදක
ඉකිබිඳුම..?


හිම පාට
කිරිල්ලිය...
මහ රෑක
සැඟව ගිය..
රකුසෙකුගෙ
රතු ඇසක
බැල්මකට..

Thursday, December 17, 2009

ඒ මම..


කන්ද මුදුන'ත තනිවුණ
ගිනිහුළක් ළඟ වැතිරෙන
මිනිසෙකු සිරුර අවසඟ
දුටුවාද ඔබ මැදියම..?

නිදි වරා හිඳ තුන්යම
ලියූ කවියද ගුලිකොට
ගිනි තැබූවෙකු අලුයම..
දුටුවාද ඔබ කිසිදින..?

තෙරක් නොමැතිව පාවෙන
හිතක් නැති මේකුළකට
නතර වෙන්නැයි පවසන
කෙනෙක් සිටියෙද මිහිමත..?

මෝසම් වැස්ස කෙළවර
ඉතිරි වුන කළ ගොළුවත..
වැහිළිහිණින්ට අමතන
මියැසියක හඬ ඇසුණිද..?

මළහිරු ගිලෙනු දැක දැක
බොහෝ සිතුවිලි සිරකොට..
චිතකය අසළ මරණය
පතන මිනිසෙකු දුටුවෙද..?

Tuesday, December 15, 2009

අළු මතින් අලුත් කවි


අඳුරු සෙවණැලි ඇසින් විනිවිදිමි
නිවුණු තරු එළි වලින් මග අසමි
කටුක ගිරිහිසක මල් පළඳවමි
අළු මතින් අලුත් කවි මම ලියමි

බොහෝ දුර ගෙවා එන වැහිලිහිණි
ගිම් නිවන තැනක් ඇතිදැයි සොයමි..
හිත රිදෙන මංලකුණු නොම අසමි
රුදා දෙන පියාපත් පිරිමදිමි

ඈත සමුදුරක එළි තිත් දකිමි
දුරක යන කුඹගසට සුබපතමි
සිඳු පතුළ මුතු නිදන බව දනිමි
රළ හැපෙන ගල් කුළක් වී හිඳිමි

රෑ සුළඟ කවුළු හැර පිළිගනිමි
තුන්යමේ කවුළු නොවසා තබමි
යන්ට සැරසෙන සුළඟ සිපගනිමි
නොපවසා රහස් ගොළුවත රකිමි..

නෙත් කෙවෙණි ඇඟිලි තුඩ'ගින් තවමි
කොපුලතක කඳුලු පියවර මකමි
ලප කැළලි ලතු දියර ගෙන දොවමි
ඉරි තැලුණු දෙතොල අග පිරිමදිමි..

Wednesday, December 2, 2009

දොළොස් මහේ කවිය


දොළොස් මසකට පසුව පැමිණි උඳුවප් සඳට
නුරා සෙවණැලි නොමැත: වෙහෙස පමණකි උරුම..
ඈත නිල් කඳු මතින් පැමිණි මග දෙස බලමි..
නිසොල්මන් මීදුමක් එ'මග ඉතිරිව තිබේ...

එදා මෙදියත මැවුණු මතු මහල් ප්රාසාද
කඩා පොළොවට වැටී මොහොතකින් දුහුලි විය..
අහුලමින් මතක මම ඒ මැදින් පය තබමි..
මලක් ඉතිරිව තිබේ
දැදුරු වුණ පුදසුනක..

කලෙක ආ මදනලම සැඩසුළඟ වුණු කලට
එදා ලඹ දුන් ලපළු වැටුණි ගිලනුන් ලෙසට..
හමා යන මාරුතය බොහෝ දේ ගෙන ගියද
සිහින ඉතිරිව තිබේ ලියමඩුලු යට තවම..

ජීවිතේ වසත් කල ගැවසෙමින් ඔබ අසළ
ලියූ කවි නිදනු ඇත පැරණි සටහන් පොතක..
සුළං අව් වැසි අතර තනි කළත් එය දිනෙක..
තවම ඉතිරිව තිබේ
පිටු අතර රැඳි කුසුම..

මුවදොරක පියවර..


සදා නොමැකෙන පියවර..
තබා යා හැකිද හිතවත
ගාලු මුවදොර වෙරළත..?

දෙපතුල සිඹින වැලිමත..
කොතෙක් සිතුවම් ඇඳුණිද..?
ලුණු රසැති මේ සුළඟට
කොතෙක් තරු ඇස් වැසුණිද..?

කළු වළාපෙත පාමුල
නැවක කුඹගස පෙනුණිද..?
රළ ඉකිබිඳින හඬ මැද
පෙම් පිළිසඳර රැකුණිද..?

දිය හැපෙන ගල්කුළු මත
සිනහ සීරා රැඳුණිද..?
බරැති හුස්මක් සිපගෙන
ඉටිපහන් සිල නිවුණිද..?

සදා සුරකිමි පියවර
තබා ගිය මා හදවත...
ගාලු මුවදොර වෙරළත

Tuesday, November 24, 2009

මුවදොරක පියවර..


සදා නොමැකෙන පියවර..
තබා යා හැකිද හිතවත
ගාලු මුවදොර වෙරළත..?

දෙපතුල සිඹින වැලිමත..
කොතෙක් සිතුවම් ඇඳුණිද..?
ලුණු රසැති මේ සුළඟට
කොතෙක් තරු ඇස් වැසුණිද..?

කළු වළාපෙත පාමුල
නැවක කුඹගස පෙනුණිද..?
රළ ඉකිබිඳින හඬ මැද
පෙම් පිළිසඳර රැකුණිද..?

දිය හැපෙන ගල්කුළු මත
සිනහ සීරා රැඳුණිද..?
බරැති හුස්මක් සිපගෙන
ඉටිපහන් සිල නිවුණිද..?

සදා සුරකිමි පියවර
තබා ගිය මා හදවත...
ගාලු මුවදොර වෙරළත

Friday, November 13, 2009

ලේ..


මගේ පෑනෙන්
ගලන්නේ ලේ..

සුරුවම පෙනෙන
මානෙක..
ගසා ඇණ
අත් පා බැඳ..
ගිනිමැලය ළඟ
තනිකළ..
මිනිසෙකුගෙ
සිරුරත ලේ..

බුදුන් බුදු වුණ
උදැහැන..
හිරු එන්ට පෙර
විල්තෙර..
ඊ තුඩු ඇණී
මියැදුණ..
හංසයෙකු ගත
රැඳි ලේ..

බෝ දුර ගෙවා
පැමිණෙන..
වීදි කෙළවර
වැතිරෙන..
බලු දිවක් මෙන්
හතිලන..
සමනල වතක
වැකි ලේ..

ලේ පැහැවෙත
අහස..
හොවා දෙදණම
මිහිමත..
මැරෙන මලකට
පෙම්කළ..
මිනිසෙකුගෙ
හදවත ලේ..



මගේ පෑනෙන්
ගලන්නේ ලේ..





රසික ජයකොඩි


Saturday, November 7, 2009

ඉල් මහේ රැයක


අඳුරු වැහිබර රැයක කඳුළු වගුරත අහස
රියසකද තෙතබරිව ඉබාගාතේ ඇදිණ..
නිදිබරිත ඇස් අරිත වීදියේ විදුලි එළි
පහන් තාරකාවක් අවසඟව බිම වැටිණ..

කල්පයක් ආයු ලැබ අගනුවර දිවි ගෙවන
තුඟු මහල් ප්රාසාද වීදි පසුකර ඇදෙන..
අකාලේ මිය ඇදුණ ප්රේමයක මතක බණ
කාලයේ සුළඟ දිග මා කරා පැමිණ ඇත..

බොහෝ දන ළය උපන් සිහින පා දුහුවිලිව
අඳුරු අහුමුලු අසළ වැතිර සැමගෙන් සැඟව..
පහුරු ගා නියෙන් එය වේදනා රැස් කරන
මේ රැයේ මා සදිසි තවත් මගියන් ඇතිද..?

මිණි ඔටුනු නැතද අභිමනින් හිස පළඳන්න..
කුරුටු ගෑ කවි තිබේ වසත් කල කෙළවරක..
කළු දුඹුල් බැඳුනු ගොළු සොහොන් කොත් යට සැඟව
එළි නිවුණු කණමැදිරි නොවැළපී සිටිනු ඇත..



රසික ජයකොඩි


Monday, November 2, 2009

මම


මංමුළා කඳුලක්
මම..

යන එන මං නොදැන
කොපුල'ත දිගේ
අයාලේ ගාටන..

ලොවට පෙනෙතැයි බියෙන්
රහසින් ඔබ
අතැඟිල්ලෙන්
පිසලන..

මංමුළා කඳුලක්
මම..
සීතල මැදියමක
පා නියමලක් මත
වියළෙන..
පිණි කඳුලකැයි
ඔබ රැවටෙන

මංමුළා කඳුලක්
මම
ආගිය වගට
ඔබ ලඟ
අඩි සළකුනක් නොතියන..
සිහිවටනයක් විලසට
කිසිදාක ළඟ
නොරැඳෙන..

ඒත්..
තනිකම දැනුණු
මොහොතක
කොපුල'ත හෙමින්
පිරිමදින..

දඩයක්කාරයෙකුට...


ඇසුවාද ඔබ
මලකින්
කොතෙක් රිදෙනවාදැයි
සිඳින විට
අවසාන මල් පෙත්ත...?

පුළුවන්ද ඔබට
අදහන්න
අන්තිම තරු ඇසත්
අඳුරින් වැහෙන විට
අහසට දනෙන
තනිකම..?

ලේ වගුළ අතකින්
සිඳින විට තටු
එක පිට එක
ගයන්නට හැකිද ගී
කුරුල්ලෙකුට..?

තියේවිද
ඉතිරිව
තව තවත් කවි..
තීන්ත වියලුණු
පෑනක...?

වැව රවුමක මතකය


ඉඳහිට දිනක යනවිට..
වැව රවුම පසුකොට
තවමත් හැරී බලනෙමි..
දෑස දල්වා වටපිට..

වැව්දිය තලය මත
සිනාසෙන දියරැළි ළඟ
තවමත් එදා වාගෙම
ගොළුවත රකිනුදැයි සීතල...

වැහි මන්දාරමක
ඈඳිගෙන තුරු හෙවනක..
ගිම් නිවනවාදැයි තාමත්
ගිම්හානයේ හැන්දෑව..

අත ඇඟිලි සිප නොගෙනම
බිමට හරවා ඇස් මුකුලිතව..
නන්නාන්දුනන රටකට
යන්ට සැරසෙනුදැයි සුළඟ..

වීදියේ දූවිලි යට
වළලනු බැරිව මතකය..
ඉපල් වී ගිය මිනිසෙකු
සිටිනුදැයි එහි තනිවම..



රසික ජයකොඩි


උපන් බිමේ සිට...


නාඳුනන සුළං රැළි දිව ඇවිත් ඔබ ළඟට
නාඳුනන සීතලෙන් දෙකම්මුල් වසන විට..
දුර ඈත දේශයක නම නොදත් නගරයක
පුරුදු සෙවණැලි සොයා ඔබේ සිත දිවෙනු ඇත.

අඳුර හූමිටි තියන හුදෙකලා රෑ කලක
පිළිසිඳුණ සිහිනයක ඔබේ කටහඬ ඇසෙත..
බරැති හුස්මක් හෙළා ඇසේ නිදි ගැට බිඳැ'ර
තවත් කවි පෙළක මම දිග හරිමි මගේ හද..

උසැති එක්ටැම් ගෙයක කවුළු දොර පියන හැර
කුරා කුහුඹුවන් සේ දිවෙන මිනිසුන් අතර..
වීදි ගං ඉවුරු දිග වෙහෙසවා නිල් නයන
මැකී යන අවතාර යළිත් ඔබ සොයනු ඇත..

ගිම්හානයෙන් දැවෙන මලක් නොපිපෙන බිමක..
ගහකොළද ඇටකටුව හඬා වැළපෙන බිමක..
එදා මෙන් යළිත් හමුවන දිනක් නොම දැනම
දේශ සීමා නොදත් ප්රේමයක් රකිමි මම..





රසික ජයකොඩි


ගාමිණි හත්තොටුවේගම..


වැලි දූවිලි
කලල..
වීදියේ
ඉතිරිව ඇත
තවම...

සෙම් සොටු
කැහිවලට
මුහුවෙච්ච
දහඩිය
ගලා යයි
කාණුව දිග..

ගොම්පස්
ගවමුත්ර
"ලේ රතු"
ගව පෙකෙණිවැල්...
ඇස යන
බොහෝ තැන්වල..

දැවුණ
සිගරැට් කොට..
කඩදහි...
පරණ පත්තර
වැතිරී
උඩුහුරුව
තැන තැන..


ඔබ නැතිව...

Sunday, November 1, 2009

විකාර සිහිනයක්


"ප්රේමයයි..ගැහැණුයි..
විතරමයි...
උඹේ කවි
හරිම වියළියි.."
- මිතුරෙක්


සැබෑය මිතුර
ඔබෙ බස

පිස දමා
මොහොතකට
මතකයේ
කළු දුඹුල්
දිය සෙවෙල..
ඇලවුණෙමි
ඇස් පියා
යහන මත



............


හීතල රැයක
අඩ අඳුරු කුටියක
තනිව..
දාස් කැපිටාල් පොතේ
පිටු අතර
හංගන්..
මාක්ස් ලියයි
කොමළඟනකට
හසුනක්...!


"කැරලිකාරයා"
ලියන ගමන්..
බීර බඳුනක
බුබුළු මැද
කැමූගේ හිතේ
ලියලයි
ලොලිටාවක ගැන
සිහිනයක්...!

අනෝරා වැහි වැටෙන
හැන්දෑවක
මෑත් කළ විට
පයිප්පය දෙතොලගින්..
නතර වෙයි
අයින්ස්ටයින්ගේ හිත..
මැරිලින් මොන්රෝ ගේ
පයෝධර තුඩු
අද්දර...!