Wednesday, September 9, 2015
පත්තරකාරයෙකුගේ එකම එක පෙම් කවිය
Wednesday, September 2, 2015
විවර නොකෙරුණු කවක මුද්‍රාව
කැබලි අත් අකුරු යළි එකතු කොට
අබලි සිතුවිලි එතුළ පොහොණි කර
කසළ කඩදාසියක හිස් ඉඩක
ගලප ගලපා පරණ වචන පෙළ
ප්‍රේම කවියක් මම
දැන් ලියා එව්වොත්
ඔබට වෙන්නට හැකිද මුද්‍රාව..?
අඳුරු හිඩැසකින් මතු වී එවිට
පුරුදු මංලකුණු අතරින් නැවත
කුහුඹු පා තුඩු තරම් සිහිනියට
අකුරු අතරින් දිවෙන සිහිනයට
අහම්බෙන් හෝ ඔබ
ආදරෙයි කිව්වොත්
එයයි සිත සිල් බිඳෙන ගාථාව...
පිටපතින් පිටපතට පිට පනින
දෙබසකට නවතින්න අඬගසන
නියඟයෙන් නියඟයට පණ ලබන
ජීවිතේ සිහිල් මිටියාවතට
අලුත් ගිම්හානයක්
හෙට උදා වූවොත්
ඔබ වෙයිද යළිත් එහි නිද්‍රාව...?
* * *
රසික ජයකොඩි 18 -05-2014
Monday, August 31, 2015
අහසට වීසි කළ පෙම් කවියක්
මහද්වීපයක වැලි කැට අතර - හිස් ඉඩක සැඟවෙන්න
පිපාසිත කවියකට බැරි වෙන්න
වලාකුළු පිට නැගී - වේගයෙන් ඔබ එන්න
අහස් ගැබ ඉරුණු තැන් අහුරන්න
අඬන්නට ඉන්න ඇස් සනසන්න.
සිරකුටිය තුළ නිදන සොරෙකුටත් -
සිහිනයක් තිබෙන බව දැනගන්න
එන්න වෙයි ඔහුටවත් නොදැනෙන්න
රළු පොළොව මතින් ඔබ සැතපෙන්න
කාලයේ වැලි අතින් අමදින්න
කිසි දෙයක් නොදත් සේ හිනැහෙන්න.
සුළඟකට මුවාවී - පැරණි කොළ එකින් එක ගලවන්න
අවැසි නැති බව ගසට පවසන්න
ආදරය අලුතින්ම දළු ලන්න
ඉඩ තිබෙන තැන් හොඳින් විමසන්න
තමන්ටම අයිති යැයි හිතෙන එක හිස්තැනක්
ගැඹුරු හුස්මක් හෙලා සිපගන්න- එතැන ඔබ සදාකල් නවතින්න
අනුන්ගේ නිම්නයට පිවිසෙන්න
පාර අවුරනු ලැබූ දෙපයකට
කාලාන්තරයක්ම නවතින්න
සිලිටි නිල් තණ පත්‍ර ඔබ වෙන්න
බොහෝ කල් එකතු කළ - වේදනා කුසුම් සේ පලගන්න
වැහිවතුර දෙනෙත් වල පුරවන්න
වලාකුළු මත නැගී ඔබ එන්න.
* * *
( රසික ජයකොඩි 22-07-2013 )
ප්‍රේමයේ ඉලක්කම් හෝඩිය
* * *
( රසික ජයකොඩි 13.04.2013 )
පියාඹනු බැරි කවියක්
සිතියමක් නම්
ක්‍රිස්මස් දූපතට එපිටින්
පැසිෆික් සමුදුරට පහළින්
මට ඔබේ මදහස
මෙතැන සිට
බලා ඉන්නට තිබුණා.
හිත මත
අත තබා
හරියටම වියතක් මැන
ඔබ හා මා අතර
සීරුවට
රේඛා අඳින්නට තිබුණා.
නොවැම්බර් මුල දවසක
වැහි වැටෙන හවසක
අත්ලට වැටෙන වැහිවතුර
කුටියටම අරගෙනවිත්
ඔබේ කම්මුල් මත
රහසින්ම ඉහින්නට තිබුණා.
ඔබ හීනයෙන් දුටු දාට
ප්‍රීතියෙන් අවදි වී
කුරුල්ලෙකු සේ කෑ ගසා
මෙතැන හිඳ
ඔබට ඒ වග
කියන්නට තිබුණා.
හිම මිදෙන නුවරක කෙළවර
සීතල නිවහනක
ඔබ ළඟ ඉදෙන
උණු බතක සුසුවඳ
ඇහැ පියා
හොයාගන්නට තිබුණා
සිත
සිතියමක් නම්
ආදරය
නිල්ම නිල් සමුදුරක් යැයි
මට ඔබට
කියා දෙන්නට තිබුණා.
* * *
( රසික ජයකොඩි 12-11-2012 )
Tuesday, August 21, 2012
සේපාලිකා හෙවත් නැවත ඇවිදීම
* * *
( රසික ජයකොඩි 23.05.2012 )
Monday, August 13, 2012
මලකට, සිකුරාදාවක
ඔබට පැමිණිය හැකියි,
සිකුරාදා සැඳෑවක,
සිහින බඳුනක් අරගෙන,
ඔබට තොල ගෑ හැකි
මට රඳා ගත හැකි.
තොල ගාන විට ඔබ
බිඳුවෙන් බිඳුව එය
පලායයි මා සිත
ශ්වේත රාත්‍රියකට,
හිමිදිරි මිහිදුමට,
කඳුකර මාවතක
හෙමිහිට ඇදෙන බස් රියක්
තුළට ද.
සිහිවෙයි එවිට මට
නන්දා මාලිනියගේ ගී වියමන්
අමරදේවගේ සන්ධ්‍යා මියැසීන්
සසර මග නිම් හිම් ගැන
යුග බැඳුණු සෙනෙහස ගැන.
කවුළුවට එපිටින් ඇසෙන
මොර ගාන රිය නලා හඬ සහ
සිනා කොක් සන් මැද
මා සිත නිසසලව කියවයි
මායා ආන්ජලෝගේ කවක්
'ඔබ ආ විට'.
අතරමැද
කෙටි විරාමයකට
මා ඇසට ඉඳහිටක හසුවෙයි
සිනාවෙන් වළ ගැසෙන දෙකොපුල්
සහ පෙමින් විපිළිසර හදවත්
සඳ එළියෙන් හා නිදි වැරුණු ඇස් වලින්
සිදුරු වුණ.
එවිට මම හෙමිහෙමින් උගනිමි
මෙතෙක් මුණ නොගැසුණු දහමක්
විකාශිත හදවත් සෛල සහ
නූපන් කව් කළල ගැන
ප්‍රේමයේ රුහිරය
සදාකල් ගලායන.
* * *
( මෙය මවිසින් ලියන ලද To a flower, on a Friday කවියේ සිංහල පරිවර්තනයයි )
Friday, August 10, 2012
දිගු වරලසැති යුවතියට
මුදා හරින්න ඔබේ වරලස,
මැදියම් රැයේ එන
දිගම දිග කෙටි පණිවුඩයක් ලෙද,
ගණනිල් වනයක සුධවල පවුරක් මත හිඳ.
මුදා හරින්න ඔබේ වරලස
ඈත කඳුරට ගිරිසිරසක සිට
හුදෙකලා නිම්නයක එරබදු මල් මතට
බක් මහේ රැයක වසින වැසි මියැසිය විලස.
මුදා හරින්න ඔබේ වරලස
මට එහි සැඟවී ඉන්නට
නිල් තණ පත් මත පිණි කැට එක් කොට
තවත් කවියකට නෙත් තෙමවන්නට
දින ගණන් රෑ ගණන් ගතවේවි
නිදි නැතිව සුව නැතිව
හෝරා ගණන් ගෙවී යාවි නිහඬවම
කාලයද බොහෝ වර නවතීවි.
ඒ වුණත්,
මුදා හරින්න ඔබේ වරලස
නන්නාදුනන තරුවක සසැළෙන එළිය විලසට,
අනෝරා වැස්සක තනිවුණ
දෑසක අයැදුමක් ලෙස දිස්වන.
* * *
( මෙය මවිසින් රචිත 'To a long haired girl' නමැති කවියේ සිංහල පරිවර්තනයයි.ජර්මානු සුරංගනා කතාවක එන Rapunzel නමැති දැරියගේ කතාව මෙ කවියට පදනම් වෙයි. දිගු වරලසක් තිබූ ඇය සුධවල එක්ටැම් මැදුරක සිරගත ජීවිතයක් ගත කළාය. ඇයට ඇවැසි වූ එකම දෙය නිදහසයි.)
Sunday, May 22, 2011
වෙසඟ අවසඟ

රෑ මැද
සීතල වැහි වතුර ලෙද
ආකාසයෙන් බිම වැටෙන සඳ
මගේ මානය
කෙතරම් ලස්සනද
මේ වෙසක් සඳ මත
වාඩි ගෙන සිටියි නම් ඔබ..
පෙරලුණු ඉටි පහනකින්
ඇවිලෙන
වෙසක් පහනක් නම් සිත
කොහොමද
ළඟම හිඳ
දිය බිඳක් වත් නො ඉසම
මේ හැටි
සිනාසෙන්නේ ඔබ..
දුටුවාද ඔබ
මතු මහල් සිරසින්
මිහිමතට බැස විත්
ඇසිපිය සලන
විදුලි ඇස් අතරට
පියහඹන කණමැදිරි එළියක්;
එය තමයි ප්‍රේමය.
විරාගික යැයි
ඔබ සිතන ප්‍රේමය..
හිස් අවකාශයකි අහස ද
සඳ ඉතිරිකොට
තාරකා හැංගෙන.
එළිය තුළ අඳුර විළි ලන
අඳුර තුළ එළිය මිරිකෙන
ජීවිතය විලසට
පරතෙරක් නොමැතිව දළුලන..
ගමනාන්තය නොම දැන
අන්ධකාරය අතරින්
ජීවිතය දළුලන විට
කොතරම් ලස්සන ද
ඒ මත වාඩිගෙන
සිනා සෙන්නේ නම් ඔබ.
රසික ජයකොඩි
Monday, May 2, 2011
අසමමිතියේ සමමිතිය හෙවත් 'රුකී'

පුරාතන පෙම් නළුව
පුරා 'ඔබ' සොයන විට
ජීවිතය වෙරෝනාවක් වේය.
ලියා ගනු බැරි වචන
හිතේ කැටි ගැහෙන විට
ආදරය පොරෝනාවක් සේය.
"ජුලියට් කැපියුලට්"
ඒ නිතර මා ඔබට දෙන නම ය.
ඇතැම් විට
අලුත් කවියක් - දෙකක්
ඔබ සිතේ පුබුදුවා ලන නම ය.
මතකයිද, පියාපත් යුග අතර
හිම රැඳුණු කිරිල්ලිය
ග්‍රීක දෙව් කතාවක වසා හිඳ
මගේ උරහිස මතට පියෑඹුව..
බොහෝ කවි තුඩ අගින් අරගෙන
ශිෂ්ඨාචාර සෙල් කුළුණු පසුකර .
කැපියුලට් මැදුරු ගැබ
රැය කොයි තරම් දිගු ද,
එහෙත් ඒ රැය පවා ඇසිල්ලකි.
සඳලුතල දසුන දැක සන්සිඳෙන
කටු ඇනුණු සිත පවා
අලුත් ඍතුවක මල් පියල්ලකි.
කවි ම අවි වී නැගෙන
ද්වන්ද්ව සටනක් වුණොත්
ප්‍රේමය,
කවුරු ඉන් දිනාවිද?
බොහෝ අය වාගෙම
හිනැහේවි ඔබත් ඒ පැනයට.
"ජුලියට් කැපියුලට්"
ඔබේ පා නියගින්
මගේ ළය පෑරෙන සැමවිට
ඒ ඔබට මා අමතනා නම ය.
පිටකළ නොහෙන බරැති සුසුමක්
ඔබ ළමැද
උණුසුමට ඉතිරි කොට යන නම ය.
රසික ජයකොඩි
30.04.2011
Monday, April 25, 2011
එකම මිනිසෙක් සහ කතා දෙකක්

අප්‍රේල් අවසන
අසෙනි වැසි වහින සවසක
තන්වැසි බොහෝ දන
දිවයති
කොහේ හෝ සෙවණකට;
ඒ වුණත් ඉඳහිට
දකිනු ඇති ඔබ
මිනිසෙකු
වැස්සට තෙමෙමින්ම
මහා නිදහසකින් ඇවිදින
අමතන්න ඔහුට - ඒ මම!
ඇසිපිය සැලෙන මොහොතක
පුපුරයි
විදුලියක් සහ අකුණක්
එකවර
අනාරාධිතවම
ඔහු දෙනෙත් අභියස...
"ඔබ"!
* * *
තවත් එක දවසක
ගිනියම් දහවලක
ගාලු පාරේ සිර වුණ
මහා රිය පෙරහරක් පසුපස
දුටුවාද
කේඩෑරි මිනිසෙකු
බයිසිකලයක් පැදගෙන
හෙමි හෙමින් එන;
අත දමා
නවතන්න ඔහු - ඒ මම!
උණු තාර මතුපිට,
කාටවත් මෙතෙක් නොපෙනුණ
වතසුදු කුසුමක් ය
හිනැහෙන
ඔහු නැඹුරු වී සුරැකිව
අතට ගෙන එය
සිඹිනු ඇති බැතියෙන...
"ඔබ"!
රසික ජයකොඩි
25.04.2011
Wednesday, April 13, 2011
අවුරුදු ප්‍රේම ගීතය

අප්‍රේල් යනු,
අහස ඉකිලන මාසය
පොළොව හිනැහෙන මාසය
අකුණු පුපුරන මාසය
අවුරුද්ද එන මාසය.
වැහි, අකුණු අස්සෙන්
කඳුළක් වැටෙන රාවය
ඔබට නෑසෙන මාසය
ඔබ සිනාසෙන මාසය
කෙවිළියක අත ගත්
වැහි ලිහිණියෙකු
කොවුල් ගී ගයන නාදය
සවනට ඇසෙන මාසය..
අප්‍රේල් යනු,
එරබදු මල් ලෙසට
නෑ හිත මිතුරු පිරිවර
ඔබ වට පිරෙන මාසය
ඔබ හිත පිරෙන මාසය
කවි, අකුරු මැද කුටියක
මා තනි කෙරෙන මාසය
කොළොම්පුර වීදියක් ලෙස
හිත පුරන් වන මාසය
අප්‍රේල් යනු,
නොනගතය කෙළවර
සුබ නැකත් ගෙන එන
නැකැත් තරුවට හිමි මාසය..
සුබ නැකත් එන තුරු
වරු ගණන් කල් මරන
නොනගතය ඉතා දිග මාසය..
නව බග සඳ විලස
මේ ඔබ සිනාසෙන මාසය,
ඒ එක සිනාවක් වෙනුවෙන්
මා බොහෝ දුක් උසුළ මාසය..
රසික ජයකොඩි
13.04.2011
මම සහ නුවර

කොළඹ විශාඛා විදුහලේ ටයි පටියක් පැලඳි යුවතියක් දුටු පමණින් තවමත් තමන්ගේ හිතේ විදුලියක් කෙටෙනු වැනි හැඟීමක් දැනෙන බව උපුල් ශාන්ත සන්නස්ගල කොහේ හෝ තැනක කියා තිබුණා මට හොඳට මතකය. එය දුටු මොහොතේ වචනයට නගන්නට අපහසු තරමේ සීතල හැඟීමකින් මගේ සිත හිරි වැටී ගියේය.
එවැනි මතකයන් ඕනෑම මිනිසෙකුගේ ජීවිතයේ තිබෙන බව මම දනිමි. ඒවා හදවතේ ගැඹුරම පතුළේ නිදන් වී විටින් විට සිත කොනිති ගසන මතකයන් ය. ඇතැම් විට මරණ මංචකය දක්වාම එම සොඳුරු රිදවිල්ල සිතට දැනේ. එය වේදනාත්මක ආශ්වාදයකි.
මගේ ජීවිතයේත් එවැනි මතකයන් කිහිපයක් තිබේ. ඒ අතුරිනුත් වැඩිපුරම මට ළං වූ මතකය වන්නේ " නුවර" යි.. නුවර වැව රවුමේ සේයාරුවක් කොහේ හෝ තැනක දකින විට, ඇතැම් විට රූපවාහිනියේ නුවර කොතැනක හෝ දසුනක් පෙන්වන විට, අවට සිටින යම් කිසිවෙකු නුවර කිසියම් තැනක් ගැන කතා කරන විට, නුවර හා බැඳුණු ගීතයක් ඇසෙන විට උපුල් කියන අන්දමේ විදුලි ඉරක් මගේ මනසේත් ඇඳෙයි. ඒ සමගම සොඳුරු රිදවීමකුත් සිතට දැනෙයි. එයට හේතුව මම බොහෝ විට කල්පනා කරමි.
නුවර හා සබැඳි පුංචි ප්‍රේමණීය කතාවක් මට තිබේ. එය එක්තරා විදියක රහස් ප්‍රේමයකි. එහෙත් දැන් එය වසර ගණනක් පැරණි ය. අද එය මගේ මනසේ තැන්පත්ව ඇත්තේ බොඳ වී ගිය ලස්සන සිතුවමක් පරිද්දෙනි. බොහෝ විට ජීවිතයේ නව යොවුන් අවදියේ සිතට දැනෙන එබඳු හැඟීම්, සිතුවම් වලට සමානය. සිතුවම කොතරම් ලස්සන වුවත්, කාලයත් සමග වර්ණ මැකී, අව පැහැ ගැන්වී, ටිකෙන් ටික බොඳ වී යයි. එහෙත් අතීතයේ පැවති අර වර්ණවත්, ලස්සන සිතුවමේ චමත්කාරය කවදාවත් මැකී යන්නේ නැත.
නුවර මට සබැඳෙන්නේ මගේ සිතේ ලියලා වැඩුණු ඒ රහසිගත ප්‍රේමයත් සමග බව ඇත්තකි. ඇගේ සෙවණැල්ල වැටුණු නුවර සෑම තැනක්ම එදවස මට සීතලක් ගෙන ආවේය. එය සුන්දර, ළපටි, බොළඳ සිතිවිල්ලකි. කාලයත් සමග නුවරට බැඳුණු විවිධ සිදුවීම් ඔස්සේ තව තවත් මතකයන් ඒ මතින් ගොඩ නැගුණේය. ඒවා එකකට එකක් සම්බන්ධ නැති, තැනින් තැනින් ඇමිණුනු මතකයන්ය. ඒ අසම්බන්ධ බවම, අපිළිවෙලම මට ගෙනෙන්නේ සුන්දරත්වයකි.
මා ආනන්දයේ උසස් පෙළ පංතියක ඉගෙනුම ලබන කාලයේ, අපට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ "විද්‍යා දිනයකට" සහභාගි වන්නට ආරාධනා ලැබුණි. එය බාලිකා පාසල් වලින් එවැනි ඇරයුම් ලැබෙන තෙක් මග බලමින් සිටි කාලයයි. මා සමග තවත් මිතුරන් හතර පස් දෙනෙක් ඒ ගමනට එක් වූහ. අපි පිටකොටුවට පැමිණ නුවර බලා යන ඉන්ටසිටි බසයක නැගුණෙමු. අපට ලැබුණේ අවසන් පේළියයි. නොයෙක් කතා කවට බස් මැද්දෙන් ගිය ඒ ගමන ඉතා විනෝදජනක එකකි. අද මෙන් හිස බර කරන සංකීර්ණත්වයන්ගෙන්, ව්‍යාකූලත්වයන්ගෙන් පිරුණු ජීවිතයක් නෙවෙයි අප එදා ගත කළේ. එදවස අප අලුතින් පියාපත් ලැබුණු කුරුල්ලන් බඳු ය.
ඒ දවස ටිකක් වැහිබර අඳුරු දවසකි. බසයේ රේඩියෝව ක්‍රියාත්මක කරවා තිබුණේය. කොළඹ සිට කෙළි කවට කතා කියමින් පැමිණි මගේ පාසල් මිතුරන්ගෙන් ඇතැමෙකු, කඩුගන්නාවට ළං වෙන විට සිටියේ අඩ නින්දේය. තරමක නිහඬතාවක් රජයමින් තිබුණි. බස් රථය කඩුගන්නාව කන්ද නගින්නට පටන් ගත්තේය. පොද වැස්ස.. මීදුම..අඩ අඳුර.. කවුළුවෙන් පිටත දැවටෙමින් තිබුණි.
බසයේ රේඩියෝවෙන් වාදනය වෙන්නට පටන් ගත්තේ නන්දා මාලිනිගේ "කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන" ගීතයයි. ඒ මොහොතේ ඒ ගීතය මගෙ සිතේ කිඳා බසින්නට පුළුවන් ගැඹුරුම තැන දක්වා කිඳා බැස්සේය. ගීතයේ සෑම වචනයක්ම මගේ සිත කොනිත්තා රිද්දුවේය. නන්දා මාලිනියගේ හඬ, ගීතයේ රිද්මය මගේ මනස වෙළා ගත්තේය. එය සිහි කරන විට, මේ දැනුදු එම කම්පනය මට දැනෙයි. එතැන් සිට " කප් සුවහස් කල්" ගීතය ඇසෙන සෑම මොහොතකම මට 'කඩුගන්නාව ' සිහියට නැගෙයි. වසර ගණනක් පැරණි අතීතයට ඇසිල්ලකින් සිත දිව යයි.
නුවරට ගිය තවත් සුන්දර ගමන් රාශියක් මතකයේ ඇත. මා ඒවා ' සුන්දර ගමන්' යැයි කියන්නේ බොහොම පුංචි හේතු නිසාය. තවත් කෙනෙකුට ඒවායේ අබමල් රේණුවක තරම්වත් වටිනාකමක් නැති වන්නට පුළුවන. එහෙත් ඒ පුංචි සුන්දරත්වය මට හුඟක් වටින එකකි.
රාජකාරි ජීවිතයේත් එවැනි 'සුන්දර' අවස්ථාවන් බොහොමයක් මට ලැබිණි. එහෙත් ඒ හැම එකක්ම ලියන්නට ගියහොත් මේ වියමන තව හුඟක් දික් ගැස්සෙයි. එහෙත් ඒ අතුරින් ඉතාම ලස්සන මතකයක් වන්නේ මිතුරන් කිහිප දෙනෙකු දවස් කිහිපයක් නුවර ගත කළ මතකයයි.
ඒ මෙයට වසර හතර පහකට පෙරය. ඉන්දික සකලසූරිය, රතින්ද්‍ර කුරුවිට මෙන්ම සංඛ ගාල්ලගේද ඒ ගමනේ කොටස්කරුවෝ වූහ. එය රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් ගිය ගමනකි. නුවර නොහෝ තැන්වල අපි ඒ දින කිහිපයේ ඇවිද ගියෙමු. ඇත්තෙන්ම නුවර නොගිය තැනක් නැති තරම් ය. අප දින දෙකක් නවාතැන් ගත්තේ මහනුවර තිලංකා හෝටලයේය. තවත් දිනයක් හෝ දෙකක් හන්තානට නුදුරුව පිහිටි ලස්සන හෝටලයක ලැගුම් ගත්තෙමු.එම සෑම සීතල රාත්‍රියක්ම පුංචි මීවිතකින් උණුසුම් වූයේය.
තිලංකා හෝටලයේ ගත කළ එක රැයක මීවිතත් සමග ඇදී ගිය කතා බහ මැදියම් රැය තෙක් දිග් ගැස්සුණි. මගේ මිතුරන් තිදෙනා නිදන්නට ගියද, මට මොහොතක් තනි වෙන්නට අවැසි විය. මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. කාමරයෙන් පිටතට පැමිණි පසුව ඈත පිහිටි කඳු ගැට අඳුරු රේඛා මෙන් ඇසට පෙනේ. එම කඳු පසුතලයේ තිබියදී , නගරයේ විදුලි එළි ඈතින් ලෙලෙන දිලෙන තරු ඇස් මෙන් දිලිසෙයි. මම බොහෝ වේලාවක් එදෙස බලා සිටියෙමි. කලින් කී පැරණි ප්‍රේමයේ මතකය ඒ මොහොතේ මගේ මනසේ හොල්මන් නොකළා යැයි කිව්වොත් බොරුවකි. මට ඇය සිහිපත් විය. ඇය සිටින ඉසව්ව කුමක්දැයි මම අන්ධකාරය පුරා නෙත් යවමින් සෙව්වෙමි. නමුත් අන්ධකාරය තුළ මං ලකුණු සෙවිය හැක්කේ කාට ද..? එම නිසා මට ඒ ඉසව්ව සොයාගන්නට නුපුළුවන් විය. අද එම රාත්‍රිය මගේ මනසේ රැඳෙන්නේ ලස්සන එහෙත් අඳුරු සිහිනයක් විලසටය.
මා අවසන් වරට නුවර ගියේ මෙයට මාස පහකට පමණ පෙරාතුවය. ඒ ගමනටත් ඉන්දික සහ රුක්ෂාන් අබේවංශ එක්වූහ. එය හුදෙක් විනෝදය සඳහා අප ගිය ගමනකි. වාහනය පැදවූයේ ඉන්දිකය. ඉදිරි පස අසුනේ මාත් පසු පස අසුනේ රුක්ෂානුත් ගමන් කළහ. අප කොලඹින් පිටත් වූයේ හවස් වරුවේ වූ නිසා නුවරට ළං වන විට අඳුර වැටී තිබිණි. නුවරට ඔන්න මෙන්න කියා තිබියදී ඉන්දිකත් නුවරට සම්බන්ධ ඔහුගේ පැරණි ප්‍රේමයක් ගැන කතාවක් මට පැවසුවේය. මමත් මගේ පැරණි කතාව ඔහුට කීවෙමි. ඒ කතා දෙකම අඩු වැඩි වශයෙන් සමාන විය. අප දෙදෙනාම ඒ කතා යළි සිහිපත් කළේ සිනාසෙමිනි. ඒ සිනාව අස්සෙන් මගේ හදවතේ සියුම් ඉකිබිඳුම් රාවයක් මට ඇසුණේය. ඇතැම් විට මගේ මිතුරාටත් එවැනිම හැඟීමක් දැනෙන්නට ඇත. ඒ වන විටත් ඔහු විවාපත් වූ අලුත ය.
අප එදින ලැගුම් ගත් හෝටලය ඉතාම රමණීය කඳු දසුන් සහිත එකකි. එය පිහිටා ඇත්තේ නුවර ධර්මරාජය පිහිටා ඇති කන්ද මුදුනට වන්නටය, මහවැලි ගඟ පොල්ගොල්ල වේල්ලේ සිට කිලෝමීටර් 25ක් 30ක් ඈතට ගලන අයුරු එම හෝටලයට පෙනේ. කඳු පන්ති පසුබිමෙහි මහවැලි ගඟ ගලන්නේ මනරම් චිත්‍රයක අසිරිය මවමිනි.
එදා රාත්‍රියේ මට හෝරා දෙක තුනකට වඩා නිදාගත හැකි වූයේ නැත. පාන්දර දෙකයි තිහට පමණ අවදි වුණු මම අප සිටි කාමරයට අයත් සැඳැල්ලට පැමිණියෙමි. සීතල සියුම් හී තුඩු මෙන් සිරුරෙහි ඇනේ. අවදි වන සිතුවිලි එයටත් වඩා සියුම්ව හදවතට කටු අනියි. එය ඉවසා ඉන්නට අපහසු හැඟීමකි. විදුලි එළි දල්වන්නට ගියොත් මගේ මිතුරන් අවදි වන බැවින් මම මගේ ජංගම දුරකථනය අතට ගෙන එහි කවි සිතුවිල්ලක් ලියා තබන්නට තැත් කළෙමි. එහෙත් මට එය ලියාගත නොහැකි විය. තවමත් එය නොලියූ කවියක් ලෙසින් මගේ මනසේ නින්නාද වෙයි. එදා රාත්‍රියේ මට නිදගන්නට මගේ සිත ඉඩ නොදුන්නේ ඇයිදැයි අදටත් මට තේරුම් ගන්නට බැරිය. අනෙක් අතට ජීවිතයේ බොහෝ දේ එලෙස තේරුම් ගන්නට උත්සාහ කළ යුතු නැත.එයට හේතුව, එවැනි තේරුමක් ඒවායේ නැති නිසාය.
එසේ වුවත් ජීවිතය සුන්දර යැයි මම විශ්වාස කරමි. නුවර යනු සුන්දර ජීවිතයේ මට තවත් සුන්දර මතකයන් ගොන්නක් සහිත ස්ථානයකි. පුනරුත්පත්තියක් කියා දෙයක් තිබෙනවා නම්, ඇතැම් විට එය සංසාරයේ ඈත සිට පැමිණෙන ගුප්ත සබැඳියාවක් විය හැකිය. එසේ නැතිනම්, මම මේ භවයේ සිට සංසාරයට රැගෙන යන රමණීය මතකයක් විය හැකිය.
මට එක සිහිනයක් තිබේ. ඒ මේ ජීවිතයෙන් නික්ම යන්නට පෙරාතුව නුවර කුඩා නිවහනක හුදෙකලා, පිටස්තර, නිහඬ ජීවිතයක් ගත කිරීමේ සිහිනයයි. එය කිසිවෙකු ඇතුළු නොවෙන, කිසිවෙකුටත් නොපෙනෙන, කිසිවෙකුත් නොදකින ජීවිතයක් විය යුතුය. ඒ සියුම් රිදුම මට රිසි සේ විඳීමට අවැසිය. පැය ගණන්, වරු ගණන්, දින ගණන්, මාස ගණන්, වසර ගණන් එම රිදුමේ නිමග්නව කල් ගෙවීමට අවැසිය. එසේ වුවහොත්, කවදා හෝ දිනක එය මට සංසාරයට රැගෙන යා හැකි අපූරු මතකයක් වනු නියතය.
රසික ජයකොඩි






