චලිතය අයිති
ගති විද්‍යා පොතට මිස
ආදරයට නොවන බව
ඈ බොහෝ වර කියා දුන් පාඩමක්.
ගහවැලක
ඇඟිලි තුඩු මත මිස
කාෂ්ඨක හදවත්
ඉරි තැළුණු තැන් වල
පළුදු අතරින්
මල් පිපෙන්නේ නැති බව ඈ වතාවක් කීවා
නමක් නැති
කවි තියෙන්නට හැකි නම්
උසක් නැති කඳු හිස්ද
තෙතක් නැති රතු ඇස්ද
දුකක් නැති හදවත්ද
තියෙන්නට ඕනෑ බව
ඇයට සාධනය කළ හැකියි.
කාටත් පහසු වෙන්නට
හදවතේ ඉබි යතුරු
කඩා දැම්මා නම්
ආදරය ගැන
මෙතරම් කවි ලියන්නට
අවැසි නැති බව
ඈ නගන තර්කයයි.
දුරත් කාලයත් දන්නේ නම්
හිස් අවකාශයක
ආදරයේ ප්‍රවේගය පවා
ගණනය කරන්නට
ඇයට පුළුවන්
එහෙත්
පළමු හිරු රැස් දහරට
බිමට ගිලිහෙන
පරමලක චිත්ත වේගය ගැන
ඇය දන්න
සමීකරණය
මට තවම රහසක්* * *
( රසික ජයකොඩි 13.04.2013 )
No comments:
Post a Comment