Wednesday, October 20, 2010

හැඟුම් නැති කවියක්


අකුරකට පුළුවන්,

හැඟුම් නැති

දුරකථන මුහුණක

අඳුන් සිතුවම්

අඳින්නට


ඒ සිතුවමට පුළුවන්

ඇස් වලින් සිනාසෙන්නට

ගොළු බසින් කතා වෙන්නට

රතු ඇස් මත වුණත්

නුහුරු සීතල

තියා යන්නට..


පුළුවන් ඔබට

කවියක් ලියා දෙන්නට

තෙත සිඳුණු

අමාවක අහසට..

වැහි වලාකුළු

ඒ යට රොද බැඳෙන හැටි

ඈත සිට

බලා ඉන්නට..


පුළුවන් ඔබට

කවියක් ලියා යන්නට

පා තුඩින්

නන්නාඳුනන වෙරළක..

කුහුඹුවෙකු

ඒ මත නිදන හැටි

දුර සිට

බලා ඉන්නට..


පුළුවන් ඔබට

කවියකින් අමතන්නට

ඍතුවෙන් ඍතුවට

පියඹන

වලාකුළු මිනිසෙකුට..


කල්පයක් දුර සිටියද

ගල්ගැසී ඔහු

නතර වන සැටි

පුළුවන් එවිට

බලාගන්නට


දුටුවාද..?


ඔහුගෙ ළය මැද

කළු වලාකුළු

කැටිති අස්සෙන්

ඉඩ ඇති ඔබට

හමා යන්නට...


2 comments:

  1. පුළුවන් ඔබට
    කවියකින් අමතන්නට
    කල්පයක් දුර සිටියද
    ගල්ගැසී ඇය
    නතර වන සැටි
    පුළුවන් එවිට
    බලාගන්නට.
    ලස්සනයි ගොඩක්.
    මැණික්(සුළඟ)

    ReplyDelete