Monday, August 31, 2015

පියාඹනු බැරි කවියක්

සිත
සිතියමක් නම්
ක්‍රිස්මස් දූපතට එපිටින්
පැසිෆික් සමුදුරට පහළින්
මට ඔබේ මදහස
මෙතැන සිට
බලා ඉන්නට තිබුණා.


හිත මත
අත තබා
හරියටම වියතක් මැන
ඔබ හා මා අතර
සීරුවට
රේඛා අඳින්නට තිබුණා.


නොවැම්බර් මුල දවසක
වැහි වැටෙන හවසක
අත්ලට වැටෙන වැහිවතුර
කුටියටම අරගෙනවිත්
ඔබේ කම්මුල් මත
රහසින්ම ඉහින්නට තිබුණා.


ඔබ හීනයෙන් දුටු දාට
ප්‍රීතියෙන් අවදි වී
කුරුල්ලෙකු සේ කෑ ගසා
මෙතැන හිඳ
ඔබට ඒ වග
කියන්නට තිබුණා.


හිම මිදෙන නුවරක කෙළවර
සීතල නිවහනක
ඔබ ළඟ ඉදෙන
උණු බතක සුසුවඳ
ඇහැ පියා
හොයාගන්නට තිබුණා


සිත
සිතියමක් නම්
ආදරය
නිල්ම නිල් සමුදුරක් යැයි
මට ඔබට
කියා දෙන්නට තිබුණා.



*            *             *
( රසික ජයකොඩි  12-11-2012 )

2 comments:

  1. "සිත
    සිතියමක් නම්
    ආදරය
    නිල්ම නිල් සමුදුරක්..."

    (Y) දැනුනා...

    ReplyDelete
  2. Cannot remember how many times I ve read this lovely treasure of you .I wonder how many times would read this until ...Thanks for your BEST poetry ever !!!

    ReplyDelete