Monday, May 2, 2011

අසමමිතියේ සමමිතිය හෙවත් 'රුකී'


පුරාතන පෙම් නළුව

පුරා 'ඔබ' සොයන විට

ජීවිතය වෙරෝනාවක් වේය.

ලියා ගනු බැරි වචන

හිතේ කැටි ගැහෙන විට

ආදරය පොරෝනාවක් සේය.



"ජුලියට් කැපියුලට්"



ඒ නිතර මා ඔබට දෙන නම ය.

ඇතැම් විට

අලුත් කවියක් - දෙකක්

ඔබ සිතේ පුබුදුවා ලන නම ය.



මතකයිද, පියාපත් යුග අතර

හිම රැඳුණු කිරිල්ලිය

ග්‍රීක දෙව් කතාවක වසා හිඳ

මගේ උරහිස මතට පියෑඹුව..

බොහෝ කවි තුඩ අගින් අරගෙන

ශිෂ්ඨාචාර සෙල් කුළුණු පසුකර .



කැපියුලට් මැදුරු ගැබ

රැය කොයි තරම් දිගු ද,

එහෙත් ඒ රැය පවා ඇසිල්ලකි.

සඳලුතල දසුන දැක සන්සිඳෙන

කටු ඇනුණු සිත පවා

අලුත් ඍතුවක මල් පියල්ලකි.



කවි ම අවි වී නැගෙන

ද්වන්ද්ව සටනක් වුණොත්

ප්‍රේමය,

කවුරු ඉන් දිනාවිද?

බොහෝ අය වාගෙම

හිනැහේවි ඔබත් ඒ පැනයට.



"ජුලියට් කැපියුලට්"



ඔබේ පා නියගින්

මගේ ළය පෑරෙන සැමවිට

ඒ ඔබට මා අමතනා නම ය.

පිටකළ නොහෙන බරැති සුසුමක්

ඔබ ළමැද

උණුසුමට ඉතිරි කොට යන නම ය.



රසික ජයකොඩි

30.04.2011

6 comments:

  1. I love this poem ..puncha!!

    ReplyDelete
  2. මාර වචන සෙට් එකක්නෙ.... හොඳට ගලපලා තියනවා........

    ReplyDelete
  3. මටනම් මේ කවියේ සමහර වචන තේරුනේ නෑ මොකද මම ඒවා අහලා නෑ ... ඒත් සහතික ඇත්ත පද ගැලපුම නම් ලස්සනයි ඒකනිසා කවිය ඇත්තටම ලස්සනයි ..

    වෙරෝනාවක් කියන්නේ මොකද්ද ?

    ReplyDelete
  4. හිස් අහස කියල තියෙන ලෙසමයි මටත් මේ ගැන දැණුනෙ.
    කොහොම වුණත් හැමදාම වගේ ඔබේ කවි වල තියෙන අපූර්වත්වයනම් මෙහිත් උපරිමව තියෙනව.

    ReplyDelete
  5. නොහිම්වූ සෙනෙහසින්
    මගේ හිත පුරා 'ඔබ'
    සොයන විට
    ජීවිතය ගීතයක් වූ සේය
    ගොළුව ගිය වදන් පෙළ
    පෙරලි කරනා සිතට
    ආදරය ලෙලෙන පහනක් සේය

    "රෝමියෝ මොන්ටේගු"

    ඒ මගේ ජීවිතයවූ නමය.
    නිසදැසක පදවැලක
    මටද නොදැනී හොරෙන්
    සැඟව සිටිනා නමය.

    "රෝමියෝ මොන්ටේගු"

    ආදරය "ආදරය"
    පමනක්ම වූ කලක
    මරණයේ දෑත් ගෙන
    ලංව වුන් නිමේශයෙ
    ඒ ඔබට මා අමතනා නම ය
    මහද තුල සුසුමකට
    ඉඩක් නොතබන නමය

    "රෝමියෝ මොන්ටේගු"

    මැණික්

    ReplyDelete
  6. y dont u update this site now...?keep writing...

    ReplyDelete