Wednesday, December 22, 2010

උඳුවප් සුළඟ හෙවත් සල්ලාල පෙම් කව


මේ මගේ ප්‍රේමය
හෙවත්
අඬන්නට ඉන්න ඇස.

අඬන්නට ඉන්න ඇසකට
විසුළුවට වුව
ඇඟිල්ලෙන් ඇන්නොත් ඔබ
මුලින්ම ගලනු ඇත්තේ
කඳුළකි ලේ රතු පාට.

කඳුළු ලුණු රස
බව සැබැයි,
එසේ වුව
කුමට සොයනුද
වෙහෙස වී එහි යට'රුත
ලුණු බිඳක්වත් ශේෂ නොකරම
වියැළිලා යයි නම් එය.

මම
මකුළු දැල.

බිත්තියේ ඈත මුල්ලක
හෙමි හෙමින් ලඹ දෙන
ඉඳහිට කළුවරක
මැස්සෙකුත් පැටලෙන,
හෙට උදෑසන
ඔබ
දුර සිට
අතුගා දමන්නට
නියමිත.

උඳුවප්
සුළං කෝඩය

ඒ ඔබ.

අන්තිම
තෙල් බිඳිත්තෙන්
දැල්වෙන
පහන් සිලකින්
ජීවිතය
මොහොතකට උදුරන.



රසික ජයකොඩි
2010 දෙසැම්බර්

Saturday, December 18, 2010

ජෙරුසලම් නුවර රාත්‍රියක


වලාකුළු පිරි අහස
අරා ඉහළට නැගෙන
තුඟු මහල් ප්‍රාසාද අභිමුවෙහි
කුහුඹුවෙකු විලාසෙන් සිටගනිමි..
ප්‍රාකාර සඳලුතල
දිගු වීදි පීරමින්
දැක පුරුදු සිනහවක්
හුරුපුරුදු කතාවක්
මම සොයමි.

කටු අනින වියරු සීතල රැගෙන
අසිහියෙන් සිරුර මත දඟ කරන
සීත මෝසම් සුළඟ පිරිමදිමි.
රැය ගෙවී උදාවන තවත් එක් අලුයමක
රන් පැහැය නොතැවරෙන අළු පාට ගුවනතෙහි
සියතින්ම තනාගත් අලුත් මාවත් දිගේ
ඒ සුළඟ පියාඹන සැටි දකිමි..

වේගයෙන් ඇවිද යන මිනිසුන්ට
ජීවිතය මග හැරෙන බැව් සිහිව
මොහොතකට නතර වී,
සීතලෙන් හැකිළ ගිය තොල් වලින්
පෙණ පිපෙන මීවිතක් සිපගනිමි.
නන්නාඳුනන රටක
නාඳුනන සුසුම්, කඳුළැලි සමග
හුදෙකලාවේම සව්දිය පුරමි..

වලාකුළු මැද අහස
අරා ඉහළට නැගෙන
සඳ කොහිද මම තවම එය සොයමි.
කුළුණු ප්‍රාකාර මත අහසෙ ඉඩ ඇති තැනක
හිරිවැටුණු ඇඟිල්ලෙන්
හුරුපුරුදු
සඳෙහි හැඩතල අඳිමි..


රසික ජයකොඩි
දෙසැම්බර් 2010