Tuesday, April 13, 2010

මගේ අවුරුද්ද


ලියා නිම නැති ලිපියේ
අවසාන කොළය
සුළඟට මුසුව ඉගිලී
මේසය මුල පතිත වෙයි.

අවසාන මිනිස් පුළුටද
කන්තෝරුවෙන් නික්මෙයි..

" සුබ අලුත් අවුරුද්දක්.."

දොර ළඟට යන ඔහු
මොහොතකට යළි හැරී
එසේ පවසයි..


"එසේම වේවා"

අසුනින් නැගිට
දෙපිය මැන
කවුළුව අසළ
සිටගනිමි..

පරණ අවුරුදු දවසේ
කල් ඉකුත් වුණ
වියපත් තුරුපතක්
නටු අගින් ගිලිහී
බිම වැටෙනු පෙනෙයි.

ළඟපාත
පාළු වී ගිය නිවසක
කළු බැඳුණු
රට උළු මතින්
ලේනෙක් පැන දුවයි.
"ජීවිතය දිගයි"
ඌට නොහැඟෙන්නේත් එයයි..


ඇසට නොපෙනෙන අත්තක
වසං වී හිඳ
කොළඹ කපුටෙක්
අවුරුදු ගීතයක්
රැව් නංවන්න වෙහෙසෙයි..

ඒ ගසම පාමුල
වැලි බොරලු යහනක
ළදරු බලු පැටවෙක්
මව් ඇකය තුළ ගුලිවෙයි..
ඈනුම් අරින විට
උගේ කිරිදත් මතුවෙයි..

" සුබ අලුත් අවුරුද්දක්.."

මම උන්ට
හදවතින් සුබපතමි..



රසික ජයකොඩි
12. 04. 2010
"රිවිරේ" දී

Tuesday, April 6, 2010

මගේ අසම්මත පෙම්වතියට


නේරංජනා ගඟ
ඔබ
කාලයේ අසු පිට නැග
තරණය කළ නොහෙන


අයාලේ ඇවිදින
අසම්මත පෙමවතෙකි
බග සඳ..

ඉබි යතුරු
මුව දරා හිනැහෙයි
ජීවිතය නම්
දඬුකඳ..

එහෙත් සකිසඳ...
ඉබියතුරු අසබඩ
මල් පිපෙන්නට
නොහැකිද..?


එවන් මලකට
පිනි ඉසින්නට
සඳට
අවසර
අවැසිද..?


රසික ජයකොඩි