
අඳුරු සෙවණැලි පැමිණ අරුණු දොර වසන විට
අකුරු කඩදහි සමග ගිනි වැදුණු දිනෙක අග
අහඹු ලෙස දිග හැරුණු පොතක මුල්පිටුව මත
කුරුටු ගා තිබුණු නුඹෙ නමේ මුලකුරු පෙනිණ..
සිසිර සුළඟට සැලෙන ළපටි පෙති බිම වැටෙන
නොතිර මල් කැකුළෙකැයි කෙලෙස අමතමි නුඹට..?
කතර මග මෙ'දුර විත් ගිමන් හරිනා රැයක
අඳුර මෙන් නුඹ ද එබිකම් කරයි මගෙ සිතට..
කොහේ සිට කොතැනකට යන්නෙදැයි නොම දැනම
ඔහේ ආ සුළඟක්ව රැඳුණු හැටි නුඹ එදින
එසේ වුව ඒ සුළඟ පියාඹන බැව් හැඳින
මගේ අත් විහිදුවෙමි අහස අහුරනු පිණිස
සිනා සෝ සුසුම් මැද සිතුම් නැවතුම් සොයන
සදාදර ඇසිල්ලක සිහිනයකි.. ඒ නුඹය
මලානික නෙත්වලින් සිතිජයට පා තියන
සැඳෑවක් සදිසි බව දනිමි දැන් ජීවිතය..
රසික ජයකොඩි
19 .07. 2010