සදා නොමැකෙන පියවර..
තබා යා හැකිද හිතවත
ගාලු මුවදොර වෙරළත..?
දෙපතුල සිඹින වැලිමත..
කොතෙක් සිතුවම් ඇඳුණිද..?
ලුණු රසැති මේ සුළඟට
කොතෙක් තරු ඇස් වැසුණිද..?
කළු වළාපෙත පාමුල
නැවක කුඹගස පෙනුණිද..?
රළ ඉකිබිඳින හඬ මැද
පෙම් පිළිසඳර රැකුණිද..?
දිය හැපෙන ගල්කුළු මත
සිනහ සීරා රැඳුණිද..?
බරැති හුස්මක් සිපගෙන
ඉටිපහන් සිල නිවුණිද..?
සදා සුරකිමි පියවර
තබා ගිය මා හදවත...
ගාලු මුවදොර වෙරළත
මගේ පෑනෙන්
ගලන්නේ ලේ..
සුරුවම පෙනෙන
මානෙක..
ගසා ඇණ
අත් පා බැඳ..
ගිනිමැලය ළඟ
තනිකළ..
මිනිසෙකුගෙ
සිරුරත ලේ..
බුදුන් බුදු වුණ
උදැහැන..
හිරු එන්ට පෙර
විල්තෙර..
ඊ තුඩු ඇණී
මියැදුණ..
හංසයෙකු ගත
රැඳි ලේ..
බෝ දුර ගෙවා
පැමිණෙන..
වීදි කෙළවර
වැතිරෙන..
බලු දිවක් මෙන්
හතිලන..
සමනල වතක
වැකි ලේ..
ලේ පැහැවෙත
අහස..
හොවා දෙදණම
මිහිමත..
මැරෙන මලකට
පෙම්කළ..
මිනිසෙකුගෙ
හදවත ලේ..
මගේ පෑනෙන්
ගලන්නේ ලේ..
රසික ජයකොඩි
අඳුරු වැහිබර රැයක කඳුළු වගුරත අහස
රියසකද තෙතබරිව ඉබාගාතේ ඇදිණ..
නිදිබරිත ඇස් අරිත වීදියේ විදුලි එළි
පහන් තාරකාවක් අවසඟව බිම වැටිණ..
කල්පයක් ආයු ලැබ අගනුවර දිවි ගෙවන
තුඟු මහල් ප්රාසාද වීදි පසුකර ඇදෙන..
අකාලේ මිය ඇදුණ ප්රේමයක මතක බණ
කාලයේ සුළඟ දිග මා කරා පැමිණ ඇත..
බොහෝ දන ළය උපන් සිහින පා දුහුවිලිව
අඳුරු අහුමුලු අසළ වැතිර සැමගෙන් සැඟව..
පහුරු ගා නියෙන් එය වේදනා රැස් කරන
මේ රැයේ මා සදිසි තවත් මගියන් ඇතිද..?
මිණි ඔටුනු නැතද අභිමනින් හිස පළඳන්න..
කුරුටු ගෑ කවි තිබේ වසත් කල කෙළවරක..
කළු දුඹුල් බැඳුනු ගොළු සොහොන් කොත් යට සැඟව
එළි නිවුණු කණමැදිරි නොවැළපී සිටිනු ඇත..
රසික ජයකොඩි
මංමුළා කඳුලක්
මම..
යන එන මං නොදැන
කොපුල'ත දිගේ
අයාලේ ගාටන..
ලොවට පෙනෙතැයි බියෙන්
රහසින් ඔබ
අතැඟිල්ලෙන්
පිසලන..
මංමුළා කඳුලක්
මම..
සීතල මැදියමක
පා නියමලක් මත
වියළෙන..
පිණි කඳුලකැයි
ඔබ රැවටෙන
මංමුළා කඳුලක්
මම
ආගිය වගට
ඔබ ලඟ
අඩි සළකුනක් නොතියන..
සිහිවටනයක් විලසට
කිසිදාක ළඟ
නොරැඳෙන..
ඒත්..
තනිකම දැනුණු
මොහොතක
කොපුල'ත හෙමින්
පිරිමදින..
ඇසුවාද ඔබ
මලකින්
කොතෙක් රිදෙනවාදැයි
සිඳින විට
අවසාන මල් පෙත්ත...?
පුළුවන්ද ඔබට
අදහන්න
අන්තිම තරු ඇසත්
අඳුරින් වැහෙන විට
අහසට දනෙන
තනිකම..?
ලේ වගුළ අතකින්
සිඳින විට තටු
එක පිට එක
ගයන්නට හැකිද ගී
කුරුල්ලෙකුට..?
තියේවිද
ඉතිරිව
තව තවත් කවි..
තීන්ත වියලුණු
පෑනක...?
ඉඳහිට දිනක යනවිට..
වැව රවුම පසුකොට
තවමත් හැරී බලනෙමි..
දෑස දල්වා වටපිට..
වැව්දිය තලය මත
සිනාසෙන දියරැළි ළඟ
තවමත් එදා වාගෙම
ගොළුවත රකිනුදැයි සීතල...
වැහි මන්දාරමක
ඈඳිගෙන තුරු හෙවනක..
ගිම් නිවනවාදැයි තාමත්
ගිම්හානයේ හැන්දෑව..
අත ඇඟිලි සිප නොගෙනම
බිමට හරවා ඇස් මුකුලිතව..
නන්නාන්දුනන රටකට
යන්ට සැරසෙනුදැයි සුළඟ..
වීදියේ දූවිලි යට
වළලනු බැරිව මතකය..
ඉපල් වී ගිය මිනිසෙකු
සිටිනුදැයි එහි තනිවම..
රසික ජයකොඩි
නාඳුනන සුළං රැළි දිව ඇවිත් ඔබ ළඟට
නාඳුනන සීතලෙන් දෙකම්මුල් වසන විට..
දුර ඈත දේශයක නම නොදත් නගරයක
පුරුදු සෙවණැලි සොයා ඔබේ සිත දිවෙනු ඇත.
අඳුර හූමිටි තියන හුදෙකලා රෑ කලක
පිළිසිඳුණ සිහිනයක ඔබේ කටහඬ ඇසෙත..
බරැති හුස්මක් හෙළා ඇසේ නිදි ගැට බිඳැ'ර
තවත් කවි පෙළක මම දිග හරිමි මගේ හද..
උසැති එක්ටැම් ගෙයක කවුළු දොර පියන හැර
කුරා කුහුඹුවන් සේ දිවෙන මිනිසුන් අතර..
වීදි ගං ඉවුරු දිග වෙහෙසවා නිල් නයන
මැකී යන අවතාර යළිත් ඔබ සොයනු ඇත..
ගිම්හානයෙන් දැවෙන මලක් නොපිපෙන බිමක..
ගහකොළද ඇටකටුව හඬා වැළපෙන බිමක..
එදා මෙන් යළිත් හමුවන දිනක් නොම දැනම
දේශ සීමා නොදත් ප්රේමයක් රකිමි මම..
රසික ජයකොඩි
වැලි දූවිලි
කලල..
වීදියේ
ඉතිරිව ඇත
තවම...
සෙම් සොටු
කැහිවලට
මුහුවෙච්ච
දහඩිය
ගලා යයි
කාණුව දිග..
ගොම්පස්
ගවමුත්ර
"ලේ රතු"
ගව පෙකෙණිවැල්...
ඇස යන
බොහෝ තැන්වල..
දැවුණ
සිගරැට් කොට..
කඩදහි...
පරණ පත්තර
වැතිරී
උඩුහුරුව
තැන තැන..
ඔබ නැතිව...
"ප්රේමයයි..ගැහැණුයි..
විතරමයි...
උඹේ කවි
හරිම වියළියි.."
- මිතුරෙක්
සැබෑය මිතුර
ඔබෙ බස
පිස දමා
මොහොතකට
මතකයේ
කළු දුඹුල්
දිය සෙවෙල..
ඇලවුණෙමි
ඇස් පියා
යහන මත
............
හීතල රැයක
අඩ අඳුරු කුටියක
තනිව..
දාස් කැපිටාල් පොතේ
පිටු අතර
හංගන්..
මාක්ස් ලියයි
කොමළඟනකට
හසුනක්...!
"කැරලිකාරයා"
ලියන ගමන්..
බීර බඳුනක
බුබුළු මැද
කැමූගේ හිතේ
ලියලයි
ලොලිටාවක ගැන
සිහිනයක්...!
අනෝරා වැහි වැටෙන
හැන්දෑවක
මෑත් කළ විට
පයිප්පය දෙතොලගින්..
නතර වෙයි
අයින්ස්ටයින්ගේ හිත..
මැරිලින් මොන්රෝ ගේ
පයෝධර තුඩු
අද්දර...!