Wednesday, September 9, 2015

පත්තරකාරයෙකුගේ එකම එක පෙම් කවිය


කුහුඹුවෙකු තණපතක් මත
උදයට ලියන පෙම් කව
ක්ෂුද්‍ර වස්තුවක් බව
ඇය පුන පුනා කියන විට
හැන්දෑව තරම් දිග 
උගේ එක පාදයක සෙවණැල්ල
මම මගේ ජීවිතය කරගනිමි. 


සෙවණැලි මැනීමයි
එයින් පසු මගේ රස්සාව!


වැහි දිනක සවසක
තෙතබරිත හදවත මත 
සිහින් ඉරි අඳින රුදු අතකට
පෑන පොඩ්ඩක් දෙන්නට
ඇය බැහැ කියන විට
අතැඟිල්ල මත වැටුණු වැහි බිඳක් 
කඳුළකට පෙරළා 
මම ඇගේ දකුණු ඇස අග
තවරමි.


ඇස තෙතබරිත වන විට
ඇය අතින් පෑන ගිලිහී වැටෙයි!


"ආදරය කියන්නෙම 
සිඳුණු වැවකට..."
එහෙම නම්,
සුළඟ නිශ්චල දවසක
වැව් පතුළ හාරා
ජීවිතය යළි ගොඩට ගත හැකි බව
මතක් වී
මම සිනා සෙන්නෙමි. 


පුදුමයක් නැහැ
ඩෙඩ්ලයින් අමතක වීම!


මතකය තනි තිතක් වන
හැම මොහොතකම
මරණය රේඛාවක්ව
ඒ මත පතිත වන බව
හැම කවියකම අවසන
ඈ හට මතක් කර දෙන්නට
එවිට මම සිතා ගන්නෙමි. 


'ඔන්න ඔහොමයි
පත්තරකාරයෙකුගේ ප්‍රේමය!'



*              *             *
රසික ජයකොඩි  27-08-2014 

Wednesday, September 2, 2015

විවර නොකෙරුණු කවක මුද්‍රාව


කැබලි අත් අකුරු යළි එකතු කොට
අබලි සිතුවිලි එතුළ පොහොණි කර
කසළ කඩදාසියක හිස් ඉඩක
ගලප ගලපා පරණ වචන පෙළ
ප්‍රේම කවියක් මම
දැන් ලියා එව්වොත්
ඔබට වෙන්නට හැකිද මුද්‍රාව..?


අඳුරු හිඩැසකින් මතු වී එවිට
පුරුදු මංලකුණු අතරින් නැවත
කුහුඹු පා තුඩු තරම් සිහිනියට
අකුරු අතරින් දිවෙන සිහිනයට
අහම්බෙන් හෝ ඔබ
ආදරෙයි කිව්වොත්
එයයි සිත සිල් බිඳෙන ගාථාව...


පිටපතින් පිටපතට පිට පනින
දෙබසකට නවතින්න අඬගසන
නියඟයෙන් නියඟයට පණ ලබන
ජීවිතේ සිහිල් මිටියාවතට
අලුත් ගිම්හානයක්
හෙට උදා වූවොත්
ඔබ වෙයිද යළිත් එහි නිද්‍රාව...?



*           *          *
 රසික ජයකොඩි 18 -05-2014