Monday, March 21, 2011

මැදියම් රැයේ ඇමතුම


සති අන්ත දවසක රැයක,

මැදියම ගෙවෙන්නට පෙර

දුර සිට සපැමිණෙන

දුර ඇමතුමක් එය.


"කොහොමද..?"


නිහඬ සිනහවකි

පිළිතුර


ඉසියුම් ඉසිඹුවක් ලැබ

විමසයි යළිත් ඔබ

හුරුපුරුදු ප්‍රශ්නය.

"නිදි නැද්ද තවම..?"


කිසිදාක නිදි නොවිඳින

මගේ යටි සිත

ඒ ප්‍රශ්නයට දෙයි

කෙටි පිළිතුරක්.

"නැහැ තාම"


"දැක්කා ළඟදි දවසක

ලියපු කවියක්,

හුඟක්ම තිබුණෙ

'තනිකම'..

කලින් කවිවල වාගෙම."


කිව්වත් මෙලෙස ඔබ

නො අසන වග දනිමි කිසිදිනක

කවි නිමිති, හේතු-කාරණ.


"ඇයි...

වැරදිද.."

පිළිතුරක් නැති තැන

නොවරදවාම ඔබ විමසන

එකම ප්‍රශ්නය එය.


එසේ ඇසුවද ඔබ,

කොහොමින් කියන්නද

තනිකමේ ගැඹුරු පතුළත

ඔබ නොදත්

තව බොහෝ දේ ඇති වග..


"මම දන්නව.."

නොවැටහී වුව එහි රැඳි අරුත

මුදු ලෙසින් මසිත තැවරෙන

ඔබ කියන අවසන් වචනය

පිරිමදියි හිරි වැටුණු හදවත.


නිහඬ සිනහවකි.

ඔබට මා දෙන පිළිතුර.



රසික ජයකොඩි

Tuesday, March 15, 2011

ගිම්හාන කවිය හෙවත් කල් ඉකුත් වස්සාන ගීතය


කළු ගැසුණු උළු වහළක

පරණ වැහි පිහිල්ලක කෙළවර

සිරගත පරඬලා පත් යට

ශේෂ වුණු වැහි වතුර පොදකට

සම කරමි

ඉකුත් වස්සානය.



ඉබියතුරු දම්වැල් බැඳ

වසා දා ඇති

යළිත් නෑරෙන දොර මත

හැඩයක් නැතිව විසිරුණ

මඩ සිතුවම්ය වියළුණ..

ඉකුත් වස්සානයේ ඉපදුණ.



ලියන මේසය යට

අතු නොගෑ අඳුරු මුල්ලක

ගුලි වුණු කඩදාසියක් ඇති

එක රැයක සුරතින් ගිලිහුණ,

එමත මා ලිව් ගීතය

ඉකුත් වස්සානයේ දොරකඩ..



රත්වුණු තාර පාරක

ඉඳහිට ඇවිද යන විට

සුළි නැගෙන දුහුවිලි සුළඟ

අනවසරයෙන් සිඹියි දෙ ඇසම.

පිසින විට නෙත් කෙවෙණි

අතැඟිල්ල මත තැවරෙන

කඳුළක තවම හමු වෙයි

කල් ඉකුත් වස්සාන සීතල.



ඉරුරැස් මුවාවෙන

පරවුණු මලක පෙති යට

සිරුර අවසඟ කළු කුහුඹුවෙකු

නිහඬව දකින

නිශ්ශබ්ද සිහිනෙට

නමක් දෙමි.

එය "වස්සාන සිහිනය"

වස්සානයට ගොළු වන..



කඳු හෙල් නිම්න පසුකර

ඉබාගාතේ ඇවිදින

හැඟුම් නොපෙනෙන මිනිසෙකු

උර දරන පැස තුළ

අඳුරු මුල්ලක

සැඟවිලා ඇති

ඔහු එකතු කළ දියවර

වස්සාන කාලය තිස්සෙම.


රසික ජයකොඩි