කුහුඹුවෙකු තණපතක් මත
උදයට ලියන පෙම් කව
ක්ෂුද්‍ර වස්තුවක් බව
ඇය පුන පුනා කියන විට
හැන්දෑව තරම් දිග
උගේ එක පාදයක සෙවණැල්ල
මම මගේ ජීවිතය කරගනිමි.
සෙවණැලි මැනීමයි
එයින් පසු මගේ රස්සාව!
වැහි දිනක සවසක
තෙතබරිත හදවත මත
සිහින් ඉරි අඳින රුදු අතකට
පෑන පොඩ්ඩක් දෙන්නට
ඇය බැහැ කියන විට
අතැඟිල්ල මත වැටුණු වැහි බිඳක්
කඳුළකට පෙරළා
මම ඇගේ දකුණු ඇස අග
තවරමි.
ඇස තෙතබරිත වන විට
ඇය අතින් පෑන ගිලිහී වැටෙයි!
"ආදරය කියන්නෙම
සිඳුණු වැවකට..."
එහෙම නම්,
සුළඟ නිශ්චල දවසක
වැව් පතුළ හාරා
ජීවිතය යළි ගොඩට ගත හැකි බව
මතක් වී
මම සිනා සෙන්නෙමි.
පුදුමයක් නැහැ
ඩෙඩ්ලයින් අමතක වීම!
මතකය තනි තිතක් වන
හැම මොහොතකම
මරණය රේඛාවක්ව
ඒ මත පතිත වන බව
හැම කවියකම අවසන
ඈ හට මතක් කර දෙන්නට
එවිට මම සිතා ගන්නෙමි.
'ඔන්න ඔහොමයි
පත්තරකාරයෙකුගේ ප්‍රේමය!'
* * *
රසික ජයකොඩි 27-08-2014