Sunday, May 22, 2011

වෙසඟ අවසඟ


රෑ මැද

සීතල වැහි වතුර ලෙද

ආකාසයෙන් බිම වැටෙන සඳ

මගේ මානය

කෙතරම් ලස්සනද

මේ වෙසක් සඳ මත

වාඩි ගෙන සිටියි නම් ඔබ..



පෙරලුණු ඉටි පහනකින්

ඇවිලෙන

වෙසක් පහනක් නම් සිත

කොහොමද

ළඟම හිඳ

දිය බිඳක් වත් නො ඉසම

මේ හැටි

සිනාසෙන්නේ ඔබ..



දුටුවාද ඔබ

මතු මහල් සිරසින්

මිහිමතට බැස විත්

ඇසිපිය සලන

විදුලි ඇස් අතරට

පියහඹන කණමැදිරි එළියක්;

එය තමයි ප්‍රේමය.

විරාගික යැයි

ඔබ සිතන ප්‍රේමය..



හිස් අවකාශයකි අහස ද

සඳ ඉතිරිකොට

තාරකා හැංගෙන.

එළිය තුළ අඳුර විළි ලන

අඳුර තුළ එළිය මිරිකෙන

ජීවිතය විලසට

පරතෙරක් නොමැතිව දළුලන..



ගමනාන්තය නොම දැන

අන්ධකාරය අතරින්

ජීවිතය දළුලන විට

කොතරම් ලස්සන ද

ඒ මත වාඩිගෙන

සිනා සෙන්නේ නම් ඔබ.



රසික ජයකොඩි

Monday, May 2, 2011

අසමමිතියේ සමමිතිය හෙවත් 'රුකී'


පුරාතන පෙම් නළුව

පුරා 'ඔබ' සොයන විට

ජීවිතය වෙරෝනාවක් වේය.

ලියා ගනු බැරි වචන

හිතේ කැටි ගැහෙන විට

ආදරය පොරෝනාවක් සේය.



"ජුලියට් කැපියුලට්"



ඒ නිතර මා ඔබට දෙන නම ය.

ඇතැම් විට

අලුත් කවියක් - දෙකක්

ඔබ සිතේ පුබුදුවා ලන නම ය.



මතකයිද, පියාපත් යුග අතර

හිම රැඳුණු කිරිල්ලිය

ග්‍රීක දෙව් කතාවක වසා හිඳ

මගේ උරහිස මතට පියෑඹුව..

බොහෝ කවි තුඩ අගින් අරගෙන

ශිෂ්ඨාචාර සෙල් කුළුණු පසුකර .



කැපියුලට් මැදුරු ගැබ

රැය කොයි තරම් දිගු ද,

එහෙත් ඒ රැය පවා ඇසිල්ලකි.

සඳලුතල දසුන දැක සන්සිඳෙන

කටු ඇනුණු සිත පවා

අලුත් ඍතුවක මල් පියල්ලකි.



කවි ම අවි වී නැගෙන

ද්වන්ද්ව සටනක් වුණොත්

ප්‍රේමය,

කවුරු ඉන් දිනාවිද?

බොහෝ අය වාගෙම

හිනැහේවි ඔබත් ඒ පැනයට.



"ජුලියට් කැපියුලට්"



ඔබේ පා නියගින්

මගේ ළය පෑරෙන සැමවිට

ඒ ඔබට මා අමතනා නම ය.

පිටකළ නොහෙන බරැති සුසුමක්

ඔබ ළමැද

උණුසුමට ඉතිරි කොට යන නම ය.



රසික ජයකොඩි

30.04.2011