Monday, April 25, 2011

එකම මිනිසෙක් සහ කතා දෙකක්


අප්‍රේල් අවසන

අසෙනි වැසි වහින සවසක

තන්වැසි බොහෝ දන

දිවයති

කොහේ හෝ සෙවණකට;

ඒ වුණත් ඉඳහිට

දකිනු ඇති ඔබ

මිනිසෙකු

වැස්සට තෙමෙමින්ම

මහා නිදහසකින් ඇවිදින

අමතන්න ඔහුට - ඒ මම!



ඇසිපිය සැලෙන මොහොතක

පුපුරයි

විදුලියක් සහ අකුණක්

එකවර

අනාරාධිතවම

ඔහු දෙනෙත් අභියස...


"ඔබ"!



* * *



තවත් එක දවසක

ගිනියම් දහවලක

ගාලු පාරේ සිර වුණ

මහා රිය පෙරහරක් පසුපස

දුටුවාද

කේඩෑරි මිනිසෙකු

බයිසිකලයක් පැදගෙන

හෙමි හෙමින් එන;

අත දමා

නවතන්න ඔහු - ඒ මම!



උණු තාර මතුපිට,

කාටවත් මෙතෙක් නොපෙනුණ

වතසුදු කුසුමක් ය

හිනැහෙන

ඔහු නැඹුරු වී සුරැකිව

අතට ගෙන එය

සිඹිනු ඇති බැතියෙන...


"ඔබ"!



රසික ජයකොඩි

25.04.2011




Wednesday, April 13, 2011

අවුරුදු ප්‍රේම ගීතය


අප්‍රේල් යනු,

අහස ඉකිලන මාසය

පොළොව හිනැහෙන මාසය

අකුණු පුපුරන මාසය

අවුරුද්ද එන මාසය.



වැහි, අකුණු අස්සෙන්

කඳුළක් වැටෙන රාවය

ඔබට නෑසෙන මාසය

ඔබ සිනාසෙන මාසය



කෙවිළියක අත ගත්

වැහි ලිහිණියෙකු

කොවුල් ගී ගයන නාදය

සවනට ඇසෙන මාසය..



අප්‍රේල් යනු,

එරබදු මල් ලෙසට

නෑ හිත මිතුරු පිරිවර

ඔබ වට පිරෙන මාසය

ඔබ හිත පිරෙන මාසය



කවි, අකුරු මැද කුටියක

මා තනි කෙරෙන මාසය

කොළොම්පුර වීදියක් ලෙස

හිත පුරන් වන මාසය



අප්‍රේල් යනු,

නොනගතය කෙළවර

සුබ නැකත් ගෙන එන

නැකැත් තරුවට හිමි මාසය..

සුබ නැකත් එන තුරු

වරු ගණන් කල් මරන

නොනගතය ඉතා දිග මාසය..



නව බග සඳ විලස

මේ ඔබ සිනාසෙන මාසය,

ඒ එක සිනාවක් වෙනුවෙන්

මා බොහෝ දුක් උසුළ මාසය..




රසික ජයකොඩි

13.04.2011


මම සහ නුවර


කොළඹ විශාඛා විදුහලේ ටයි පටියක් පැලඳි යුවතියක් දුටු පමණින් තවමත් තමන්ගේ හිතේ විදුලියක් කෙටෙනු වැනි හැඟීමක් දැනෙන බව උපුල් ශාන්ත සන්නස්ගල කොහේ හෝ තැනක කියා තිබුණා මට හොඳට මතකය. එය දුටු මොහොතේ වචනයට නගන්නට අපහසු තරමේ සීතල හැඟීමකින් මගේ සිත හිරි වැටී ගියේය.



එවැනි මතකයන් ඕනෑම මිනිසෙකුගේ ජීවිතයේ තිබෙන බව මම දනිමි. ඒවා හදවතේ ගැඹුරම පතුළේ නිදන් වී විටින් විට සිත කොනිති ගසන මතකයන් ය. ඇතැම් විට මරණ මංචකය දක්වාම එම සොඳුරු රිදවිල්ල සිතට දැනේ. එය වේදනාත්මක ආශ්වාදයකි.



මගේ ජීවිතයේත් එවැනි මතකයන් කිහිපයක් තිබේ. ඒ අතුරිනුත් වැඩිපුරම මට ළං වූ මතකය වන්නේ " නුවර" යි.. නුවර වැව රවුමේ සේයාරුවක් කොහේ හෝ තැනක දකින විට, ඇතැම් විට රූපවාහිනියේ නුවර කොතැනක හෝ දසුනක් පෙන්වන විට, අවට සිටින යම් කිසිවෙකු නුවර කිසියම් තැනක් ගැන කතා කරන විට, නුවර හා බැඳුණු ගීතයක් ඇසෙන විට උපුල් කියන අන්දමේ විදුලි ඉරක් මගේ මනසේත් ඇඳෙයි. ඒ සමගම සොඳුරු රිදවීමකුත් සිතට දැනෙයි. එයට හේතුව මම බොහෝ විට කල්පනා කරමි.



නුවර හා සබැඳි පුංචි ප්‍රේමණීය කතාවක් මට තිබේ. එය එක්තරා විදියක රහස් ප්‍රේමයකි. එහෙත් දැන් එය වසර ගණනක් පැරණි ය. අද එය මගේ මනසේ තැන්පත්ව ඇත්තේ බොඳ වී ගිය ලස්සන සිතුවමක් පරිද්දෙනි. බොහෝ විට ජීවිතයේ නව යොවුන් අවදියේ සිතට දැනෙන එබඳු හැඟීම්, සිතුවම් වලට සමානය. සිතුවම කොතරම් ලස්සන වුවත්, කාලයත් සමග වර්ණ මැකී, අව පැහැ ගැන්වී, ටිකෙන් ටික බොඳ වී යයි. එහෙත් අතීතයේ පැවති අර වර්ණවත්, ලස්සන සිතුවමේ චමත්කාරය කවදාවත් මැකී යන්නේ නැත.



නුවර මට සබැඳෙන්නේ මගේ සිතේ ලියලා වැඩුණු ඒ රහසිගත ප්‍රේමයත් සමග බව ඇත්තකි. ඇගේ සෙවණැල්ල වැටුණු නුවර සෑම තැනක්ම එදවස මට සීතලක් ගෙන ආවේය. එය සුන්දර, ළපටි, බොළඳ සිතිවිල්ලකි. කාලයත් සමග නුවරට බැඳුණු විවිධ සිදුවීම් ඔස්සේ තව තවත් මතකයන් ඒ මතින් ගොඩ නැගුණේය. ඒවා එකකට එකක් සම්බන්ධ නැති, තැනින් තැනින් ඇමිණුනු මතකයන්ය. ඒ අසම්බන්ධ බවම, අපිළිවෙලම මට ගෙනෙන්නේ සුන්දරත්වයකි.



මා ආනන්දයේ උසස් පෙළ පංතියක ඉගෙනුම ලබන කාලයේ, අපට මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ "විද්‍යා දිනයකට" සහභාගි වන්නට ආරාධනා ලැබුණි. එය බාලිකා පාසල් වලින් එවැනි ඇරයුම් ලැබෙන තෙක් මග බලමින් සිටි කාලයයි. මා සමග තවත් මිතුරන් හතර පස් දෙනෙක් ඒ ගමනට එක් වූහ. අපි පිටකොටුවට පැමිණ නුවර බලා යන ඉන්ටසිටි බසයක නැගුණෙමු. අපට ලැබුණේ අවසන් පේළියයි. නොයෙක් කතා කවට බස් මැද්දෙන් ගිය ඒ ගමන ඉතා විනෝදජනක එකකි. අද මෙන් හිස බර කරන සංකීර්ණත්වයන්ගෙන්, ව්‍යාකූලත්වයන්ගෙන් පිරුණු ජීවිතයක් නෙවෙයි අප එදා ගත කළේ. එදවස අප අලුතින් පියාපත් ලැබුණු කුරුල්ලන් බඳු ය.



ඒ දවස ටිකක් වැහිබර අඳුරු දවසකි. බසයේ රේඩියෝව ක්‍රියාත්මක කරවා තිබුණේය. කොළඹ සිට කෙළි කවට කතා කියමින් පැමිණි මගේ පාසල් මිතුරන්ගෙන් ඇතැමෙකු, කඩුගන්නාවට ළං වෙන විට සිටියේ අඩ නින්දේය. තරමක නිහඬතාවක් රජයමින් තිබුණි. බස් රථය කඩුගන්නාව කන්ද නගින්නට පටන් ගත්තේය. පොද වැස්ස.. මීදුම..අඩ අඳුර.. කවුළුවෙන් පිටත දැවටෙමින් තිබුණි.



බසයේ රේඩියෝවෙන් වාදනය වෙන්නට පටන් ගත්තේ නන්දා මාලිනිගේ "කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන" ගීතයයි. ඒ මොහොතේ ඒ ගීතය මගෙ සිතේ කිඳා බසින්නට පුළුවන් ගැඹුරුම තැන දක්වා කිඳා බැස්සේය. ගීතයේ සෑම වචනයක්ම මගේ සිත කොනිත්තා රිද්දුවේය. නන්දා මාලිනියගේ හඬ, ගීතයේ රිද්මය මගේ මනස වෙළා ගත්තේය. එය සිහි කරන විට, මේ දැනුදු එම කම්පනය මට දැනෙයි. එතැන් සිට " කප් සුවහස් කල්" ගීතය ඇසෙන සෑම මොහොතකම මට 'කඩුගන්නාව ' සිහියට නැගෙයි. වසර ගණනක් පැරණි අතීතයට ඇසිල්ලකින් සිත දිව යයි.



නුවරට ගිය තවත් සුන්දර ගමන් රාශියක් මතකයේ ඇත. මා ඒවා ' සුන්දර ගමන්' යැයි කියන්නේ බොහොම පුංචි හේතු නිසාය. තවත් කෙනෙකුට ඒවායේ අබමල් රේණුවක තරම්වත් වටිනාකමක් නැති වන්නට පුළුවන. එහෙත් ඒ පුංචි සුන්දරත්වය මට හුඟක් වටින එකකි.



රාජකාරි ජීවිතයේත් එවැනි 'සුන්දර' අවස්ථාවන් බොහොමයක් මට ලැබිණි. එහෙත් ඒ හැම එකක්ම ලියන්නට ගියහොත් මේ වියමන තව හුඟක් දික් ගැස්සෙයි. එහෙත් ඒ අතුරින් ඉතාම ලස්සන මතකයක් වන්නේ මිතුරන් කිහිප දෙනෙකු දවස් කිහිපයක් නුවර ගත කළ මතකයයි.



ඒ මෙයට වසර හතර පහකට පෙරය. ඉන්දික සකලසූරිය, රතින්ද්‍ර කුරුවිට මෙන්ම සංඛ ගාල්ලගේද ඒ ගමනේ කොටස්කරුවෝ වූහ. එය රාජකාරි අවශ්‍යතාවක් වෙනුවෙන් ගිය ගමනකි. නුවර නොහෝ තැන්වල අපි ඒ දින කිහිපයේ ඇවිද ගියෙමු. ඇත්තෙන්ම නුවර නොගිය තැනක් නැති තරම් ය. අප දින දෙකක් නවාතැන් ගත්තේ මහනුවර තිලංකා හෝටලයේය. තවත් දිනයක් හෝ දෙකක් හන්තානට නුදුරුව පිහිටි ලස්සන හෝටලයක ලැගුම් ගත්තෙමු.එම සෑම සීතල රාත්‍රියක්ම පුංචි මීවිතකින් උණුසුම් වූයේය.



තිලංකා හෝටලයේ ගත කළ එක රැයක මීවිතත් සමග ඇදී ගිය කතා බහ මැදියම් රැය තෙක් දිග් ගැස්සුණි. මගේ මිතුරන් තිදෙනා නිදන්නට ගියද, මට මොහොතක් තනි වෙන්නට අවැසි විය. මම කාමරයෙන් පිටතට පැමිණියෙමි. කාමරයෙන් පිටතට පැමිණි පසුව ඈත පිහිටි කඳු ගැට අඳුරු රේඛා මෙන් ඇසට පෙනේ. එම කඳු පසුතලයේ තිබියදී , නගරයේ විදුලි එළි ඈතින් ලෙලෙන දිලෙන තරු ඇස් මෙන් දිලිසෙයි. මම බොහෝ වේලාවක් එදෙස බලා සිටියෙමි. කලින් කී පැරණි ප්‍රේමයේ මතකය ඒ මොහොතේ මගේ මනසේ හොල්මන් නොකළා යැයි කිව්වොත් බොරුවකි. මට ඇය සිහිපත් විය. ඇය සිටින ඉසව්ව කුමක්දැයි මම අන්ධකාරය පුරා නෙත් යවමින් සෙව්වෙමි. නමුත් අන්ධකාරය තුළ මං ලකුණු සෙවිය හැක්කේ කාට ද..? එම නිසා මට ඒ ඉසව්ව සොයාගන්නට නුපුළුවන් විය. අද එම රාත්‍රිය මගේ මනසේ රැඳෙන්නේ ලස්සන එහෙත් අඳුරු සිහිනයක් විලසටය.



මා අවසන් වරට නුවර ගියේ මෙයට මාස පහකට පමණ පෙරාතුවය. ඒ ගමනටත් ඉන්දික සහ රුක්ෂාන් අබේවංශ එක්වූහ. එය හුදෙක් විනෝදය සඳහා අප ගිය ගමනකි. වාහනය පැදවූයේ ඉන්දිකය. ඉදිරි පස අසුනේ මාත් පසු පස අසුනේ රුක්ෂානුත් ගමන් කළහ. අප කොලඹින් පිටත් වූයේ හවස් වරුවේ වූ නිසා නුවරට ළං වන විට අඳුර වැටී තිබිණි. නුවරට ඔන්න මෙන්න කියා තිබියදී ඉන්දිකත් නුවරට සම්බන්ධ ඔහුගේ පැරණි ප්‍රේමයක් ගැන කතාවක් මට පැවසුවේය. මමත් මගේ පැරණි කතාව ඔහුට කීවෙමි. ඒ කතා දෙකම අඩු වැඩි වශයෙන් සමාන විය. අප දෙදෙනාම ඒ කතා යළි සිහිපත් කළේ සිනාසෙමිනි. ඒ සිනාව අස්සෙන් මගේ හදවතේ සියුම් ඉකිබිඳුම් රාවයක් මට ඇසුණේය. ඇතැම් විට මගේ මිතුරාටත් එවැනිම හැඟීමක් දැනෙන්නට ඇත. ඒ වන විටත් ඔහු විවාපත් වූ අලුත ය.



අප එදින ලැගුම් ගත් හෝටලය ඉතාම රමණීය කඳු දසුන් සහිත එකකි. එය පිහිටා ඇත්තේ නුවර ධර්මරාජය පිහිටා ඇති කන්ද මුදුනට වන්නටය, මහවැලි ගඟ පොල්ගොල්ල වේල්ලේ සිට කිලෝමීටර් 25ක් 30ක් ඈතට ගලන අයුරු එම හෝටලයට පෙනේ. කඳු පන්ති පසුබිමෙහි මහවැලි ගඟ ගලන්නේ මනරම් චිත්‍රයක අසිරිය මවමිනි.



එදා රාත්‍රියේ මට හෝරා දෙක තුනකට වඩා නිදාගත හැකි වූයේ නැත. පාන්දර දෙකයි තිහට පමණ අවදි වුණු මම අප සිටි කාමරයට අයත් සැඳැල්ලට පැමිණියෙමි. සීතල සියුම් හී තුඩු මෙන් සිරුරෙහි ඇනේ. අවදි වන සිතුවිලි එයටත් වඩා සියුම්ව හදවතට කටු අනියි. එය ඉවසා ඉන්නට අපහසු හැඟීමකි. විදුලි එළි දල්වන්නට ගියොත් මගේ මිතුරන් අවදි වන බැවින් මම මගේ ජංගම දුරකථනය අතට ගෙන එහි කවි සිතුවිල්ලක් ලියා තබන්නට තැත් කළෙමි. එහෙත් මට එය ලියාගත නොහැකි විය. තවමත් එය නොලියූ කවියක් ලෙසින් මගේ මනසේ නින්නාද වෙයි. එදා රාත්‍රියේ මට නිදගන්නට මගේ සිත ඉඩ නොදුන්නේ ඇයිදැයි අදටත් මට තේරුම් ගන්නට බැරිය. අනෙක් අතට ජීවිතයේ බොහෝ දේ එලෙස තේරුම් ගන්නට උත්සාහ කළ යුතු නැත.එයට හේතුව, එවැනි තේරුමක් ඒවායේ නැති නිසාය.



එසේ වුවත් ජීවිතය සුන්දර යැයි මම විශ්වාස කරමි. නුවර යනු සුන්දර ජීවිතයේ මට තවත් සුන්දර මතකයන් ගොන්නක් සහිත ස්ථානයකි. පුනරුත්පත්තියක් කියා දෙයක් තිබෙනවා නම්, ඇතැම් විට එය සංසාරයේ ඈත සිට පැමිණෙන ගුප්ත සබැඳියාවක් විය හැකිය. එසේ නැතිනම්, මම මේ භවයේ සිට සංසාරයට රැගෙන යන රමණීය මතකයක් විය හැකිය.



මට එක සිහිනයක් තිබේ. ඒ මේ ජීවිතයෙන් නික්ම යන්නට පෙරාතුව නුවර කුඩා නිවහනක හුදෙකලා, පිටස්තර, නිහඬ ජීවිතයක් ගත කිරීමේ සිහිනයයි. එය කිසිවෙකු ඇතුළු නොවෙන, කිසිවෙකුටත් නොපෙනෙන, කිසිවෙකුත් නොදකින ජීවිතයක් විය යුතුය. ඒ සියුම් රිදුම මට රිසි සේ විඳීමට අවැසිය. පැය ගණන්, වරු ගණන්, දින ගණන්, මාස ගණන්, වසර ගණන් එම රිදුමේ නිමග්නව කල් ගෙවීමට අවැසිය. එසේ වුවහොත්, කවදා හෝ දිනක එය මට සංසාරයට රැගෙන යා හැකි අපූරු මතකයක් වනු නියතය.



රසික ජයකොඩි