Tuesday, May 25, 2010

අකල් කවියක්


අතීතය
පටු නිම්නයකි

සදාකාලික
ස්වප්නයකි..

සිල් බිඳුණු අලුයම
මල් පියලි කොපුලත
කල් යල් බලා
තියා ගිය පිනි තිත යට ද
ඉතිහාසයකි.


අකල් වැස්සට නොසේදෙන
බිම වැටුණ
මැයි මලක ලේ රත
කල්පයක් කල් වුව
මකාලන්නට
බැරි සත්‍යයකි..

අරගන්න...
එය ඔබට
තව එක
මතක වස්ත්‍රයකි..

ජීවිතය
ලිහාගන්නට බැරි
ගෙත්තමකි

ආදරය
වලාකුළු මත ඇඳි
සිත්තමකි..


රසික ජයකොඩි

Sunday, May 2, 2010

ගිලන් වූ සිහිනය



ගිලිහී වැටෙන මැයි මල්
මතක පටුමග මත
වැතිරෙයි

හාත්පස අඳුර පමණයි..

නෙත් කෙවෙණි පිරිමැද
නිදි බිඳුණු සිහිනයක්
නැගිටියි

"මීවිතක් තරමට
ජීවිතය තරුණයි"
නාඳුනන හඬකින් ගැයෙන
ගීයක එසේ කියැවෙයි.

දැන් එකී සිහිනය
නිදන මැයි මල් පාගමින්
බොහෝ දුර ඇවිදින්න
සැරසෙයි.

ජීවිතය
හිනැහෙයි..

රෑ පුරා නිදි වැරූ සඳ
හඬ හඬා බිම හළ
කඳුළු පින්නට
මැයි මල් කිණිති තෙත්වෙයි..
ඒ මත දෙපිය මැන
යනු නොහී
මගේ සිහිනය
පා පැකිල
බිම ඇද වැටෙයි..

අත් පා රිදුම් දෙයි
සඳමඬල වුව
රතුවෙයි..

ගිලන් යහනක
ජීවිතය
යළිත් වැතිරෙයි..

රසික ජයකොඩි
03.05.2010