Sunday, January 31, 2010

ප්‍රේමයේ කළාලය


ප්‍රේමයේ කළාලය එලන්න
ජීවිතේ වළාකුල වැහෙන්න



තරු ඇසක් අතින් පොඩි කරන්න
රතු වෙයිද ළං වෙලා බලන්න



තනි සඳට ගුලි වෙලා නිදන්න
ගිනි සිසිල යටින් පිණි ඉහින්න



නිම් වළල්ලටම ඔබ ඇදෙන්න
දුම් වළල්ලක් විලස රැඳෙන්න



ප්‍රේමයේ කළාලය එලන්න
මේ රැයේ මගේ ළය සිඹින්න





රසික ජයකොඩි
එක්තරා රැයක

Saturday, January 30, 2010

පෙබරවාරිය?


( ලංකා පත්තරේ කර්තෘ චන්දන සිරිමල්වත්ත පොලිස් කූඩුවේය. ප්‍රගීත් එක්නැලිගොඩ තාමත් අතුරුදහන් ය. ඒ අතරේ ලංකා පුවත්පතට අද දහවල් සීල් තබන ලදී)

මිතුර අද සිට පෙබරවාරිය
සයුර ගිනිබත් කරයි සූරිය
මියෙන මලකට කොහෙද වීරිය
සිහින වලටත් ඇඳිරි නීතිය


රජ අණින් පළඳවා ප්‍රීතිය
සිනා මුහුණෙන් පිරෙයි වීදිය
නිශාචරයන් හොරෙන් ආගිය
බූට් සළකුණු පසට හා විය


මල් වෙඩිල්ලෙන් ළය දෙබෑ විය
අකීකරු කවියද නිමා විය
පන්හිඳක් මා අතට දී ගිය
මිතුර නුඹ දැන් හරිම ඈතය


සිංහාසනය යට ගලාගිය
මුත්‍රාවලින් තෙතය රාත්‍රිය
උට්ඨාන වෙයි මරණ භීතිය
මුද්‍රා තබමි මගේ ගීතය

Wednesday, January 27, 2010

දිනපොත සහ හදවත


පැරණි දිනපොත ගෙන'තට
ඉරුණු පිටුවක් පෙරළමි
මැකුණු අකුරක් ගළපමි


නිදන නදියක රැළි මත
සිහිනයෙන්
පය තබනෙමි
දිය පිට මෙතෙක් සපැමිණි
පියවර ලකුණු සොයනෙමි


ගෙවෙන්නට පෙර කළුවර
තණ පලස මත ඇවිදිමි
සී සී කඩව යන පිණි
රැස් කරන්නට නොසිතමි


කාලය රකින මුනිවත
හෙළන සුසුමෙන් නොබිඳිණි
නොනිදන කුහුඹු සෙවණැලි
බිතු මතින් සිතුවම් වුණි


දිගු බැව් දනිමි මේ රැය
සඳට කෙටි මං නැතියෙනි..
මදනලට පිටු පෙරළිණි
මතකය පවා සසැළිණි





රසික ජයකොඩි
ජනවාරි 27 පාන්දර

Thursday, January 21, 2010

සඳ ළඟ ඇය


ඇය
තමයි
රැය


නිසල
ඇස
සසැලෙන


වහින
සිහින
තුහින
යට
ඉහින

ඇඳෙන
විට
වද
විඳ
සඳ
මිලින
මල
වෙයි
මල්වර

සුළඟ
ඇයි
දඟ
මගෙ ලඟ...?

නිහඬ
නැත
නිහඬතාවය
හඬන
හඬ..



රසික ජයකොඩි

Saturday, January 16, 2010

මතක මළගම


මලක මළගම නිමව
මතක බණ රැව් නගන
නෙතක කඳුළක් වුවද
ගඟක හැඩතල මවන


හිතට නොපෙනෙන තැනක
නතර කර ගමි කඳුළ
චිතකයට ගිනි තබන
අත ඇඟිලි උණුසුම්ය


නින්ද නැති සඳවතට
අන්දවන්නට සළුව
අන්දකාරය තනිව
වින්ද දුක් අපමණය


සොහොන් බිම මුල් අදින
පැළෙන් දළු නැගෙන විට
ඉතින් මියැදුණු සිහින
දකින්නේ කවුරුන්ද..?


පියෙන විට ඇස් රැයක
එසැණ තරු එළි නිවෙන
නිදන ජනවාරියක
හැළෙන මල් නිම් නොමැත


හිස් වුණත් සඳ එළිය
දොස් නගනු අනැවැසිය
වස්සානයේ කවිය
ඇස් පියා නැවතුණිය

Saturday, January 9, 2010

රතු

ඇය රතුයි..

මළ ඉරක්
යට උපන්
සිහිනයක්
තරමටම
ඇය රතුයි

නිදි කිරන
ඔරුකඳක
හරි මැදින්
පින්තාරු
කළ ඉරක්
වාගෙමයි
ඇය රතුයි..

සුධාවල
පිරුවටය
මත ඉහුණු
ලේ බිඳිත්තක් වගෙයි
ඇය රතුයි


ලේ ගලන
පිහිතුඩක
සිනාසෙන
ඇපල් රත
ඇය වගෙයි
ඇය රතුයි


බොරදියක
නෙළුම් මල්
පිපෙන විට
දිය රතුයි
ඇය රතුයි

දරණ ලූ
හදවතක්
යට නිදන
ඇය රතු
යි
හරි රතුයි



Saturday, January 2, 2010

දුරුතු සිතුවම


සඳකඩපහණ
පාමුල
සිගරට් දුමත්
කවියක්..

උඳුවප් සිසිල
අවසන
ඉකිලයි
හංස ගීයක්..

අඩතැනි ගසක
සෙවණ'ත
මල් පියල්ලක
කඳුලක්..

වෙව්ලන හදැ'ති
මිනිසෙක්
අහසෙම වියයි
සළුවක්..







නිදියන
තණපතක් යට
පළිඟු ඇස්
පිණි බිඳුවක්..

ගොලුබෙලි ගමන
කෙළවර
ඇඳෙයි පියවර
අහුරක්..

වැලි කතරටත්
ඉතිරියි
දියවැලක් ගිය
ලකුණක්..

නම් නැති
සොහොන් කොතකත්
කොතැන හෝ ඇත
අකුරක්..